Wednesday, December 25, 2024

General line - 0115112241

ජනතා බලාපොරොත්තු කඩ කරන්නේ නැහැ - ජනපතිගෙන් යළි පොරොන්දුවක්




රජය වටා රොඳ බැඳගත් දහස් සංඛ්‍යාත ජනතාවගේ බලාපොරොත්තු කිසිඳු අයුරකින් කඩ වීමට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ ඔවුන් අපේක්ෂා කරන “පොහොසත් රටක් - ලස්සන් ජීවිතයක්” උදා කර දීමේ ඒකායන අරමුණ වෙනුවෙන් තව තවත් වීර්යයෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව කැප වන බවට මෙම උතුම් නත්තලේදී තමන් යළි අවධාරණය කරන බවයි. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ ඒ, නත්තල වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින්. 

ආත්මාර්ථකාමී හා අහිතකර තරඟයට සමාජ පද්ධතිය විසින් බල කරනු ලැබ තිබෙනවා. 

එහෙත් නත්තලේදී ප්‍රකට කරන මානව ගුණාංග සිත් තුළ වර්ධනය කර ගනිමින්, සමානාත්මතාව ගරු කරමින්, අනෙකා පිළිබඳ හැඟීමෙන්, සහෝදරත්වය, සහජීවනය අගයමින්, ඒ සමාජ පද්ධතිය, යහපත් හා සතුටු දායක සමාජයක් කරා මෙහෙය වීමට සැවොම අත්වැල් බැඳ ගැනීම මේ මොහොතේ පුරවැසියන් ලෙස අප ගත යුතු තීරණය බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. 

ශක්තිමත් ස්ථාවර ආර්ථිකයක්, සමාජ සාධාරණත්වය අරමුණු කර ගත් අව්‍යාජ ජනතාවාදී දේශපාලන සංස්කෘතියක් රටට අවශ්‍යයි. 

එමෙන්ම, මනුෂ්‍යත්වය හා නිදහස පිරුණු, සුන්දර රටක් නිර්මාණය කිරීම වෙනුවෙන් කැප වීමට මෙම උතුම් නත්තලේ සියලු දෙනා අදිටන් කරගත යුතු බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පවසනවා. 

මේ අතර, මෙම සමයේදී අන්‍යෝනය සබඳතා වැඩි දියුණු කර ගැනීමටත්, ඉවසීම වර්ධනය කර ගැනීමටත්, එකමුතුකම සහ අවබෝධය ඇති කර ගැනීමටත් කැපවිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා. 

මෙම උත්සව සමයේදී අපගේ මෙන්ම අන් අයගේ ද ආරක්ෂාවට මුල් තැන දෙමින් සියලු දෙනා සමඟ සහයෝගයෙන් ප්‍රීතිමත්ව ගත කිරීමට වගබලා ගත යුතු බවයි නත්තල වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ. 

එමෙන්ම ලෝකය පුරා පවතින විවිධ ගැටුම් හා ව්‍යසනයන් මධ්‍යයේ කුඩා දරුවන් පවා මිය යන මෙවන් මොහොතක, අපි තවමත් අපේ හදවත් තුළ සාමයේ බලාපොරොත්තු දල්වාගෙන සිටිය යතු බවද අග්‍රාමාත්‍යවරිය නිකුත් කළ සුබ පැතුම් පණිවිඩයේ දැක්වෙනවා. 

මේ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද නත්තල වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. 

මේ මොහොතේ රටේ පවතින බංකොලොත්භාවයෙන් මිදීමට නම් අප ද ජාති, ආගම්, පන්ති, පක්ෂ භේදයකින් තොරව සියලු ම ජනතාව සහෝදරත්වයෙන්, සංහිඳියාවෙන්, ප්‍රේමයෙන් කටයුතු කළ යුතු බව එහි දැක්වෙනවා. 

එය රටේත් ජනතාවගේත් දියුණුවට හේතුවන බව සියලු පාර්ශව දෙනා ම අවබෝධ කර ගත යුතු යැයිද විපක්ෂ නායකවරයා නිකුත් කළ නත්තල් සුබ පැතුම් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්.