Thursday, December 26, 2024

General line - 0115112241

රාත්‍රී කාලයේ වාහන නැවැත්වීමේ දී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් පොලීසියට විශේෂ උපදෙස්




රථ වාහන රාජකාරියේ යෙදී සිටින නිලධාරීන් රාත්‍රී කාලයේ වාහන නැවැත්වීමේ දී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් පොලීසියට විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. 

ඒ, වැඩබලන පොලිස්පතිවරයා විසින්.

ඒ අනුව මින් ඉදිරියට රථවාහන රාජකාරියේ නිරත නිලධාරීන් මින් පෙර ලබා දී ඇති උපදෙස් පරිදි රියදුරන්ට මනාව දර්ශනය වන ලෙස ආලෝකය පරාවර්තනය වන ලු‍මිනස් ජැකට් හා ලු‍මිනස් අත්වැසුම් පැළඳ සිටිය යුතු වනවා. 

රථවාහන නැවැත්වීම සඳහා මේ වන විට පොලිස් ස්ථාන වෙත නිකුත්කර ඇති රතු විදුලි පන්දම් හැකිතාක් භාවිත කරන ලෙසටයි උපදෙස් ලබා දී ඇත්තේ. 

එමෙන්ම රාත්‍රී රාජකාරි යොදවන නිලධාරින් එසේ ක්‍රියාකරන්නේ ද යන්න පිළිබඳ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන්, ස්ථානාධිපතිවරුන් සහ රථවාහන ස්ථානාධිපතිවරුන් විසින් නිරන්තරවම අධීක්ෂණය කළ යුතු බවට ද වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් දී තිබෙනවා.

රථවාහන රාජකාරි නිලධාරීන් රාත්‍රී කාලයේ රථවාහන නැවැත්වීමට සංඥා කිරීමේදී බොහෝ අවස්ථාවල විවිධ ආකාරයේ විදුලි පන්දම් භාවිතා කිරීම තුළින් එම විදුලි පන්දම් ආලෝකය රියදුරන්ගේ මුහුණට වැදීම සිදුවන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ. 

ඒ හේතුවෙන් ඇතැම් අවස්ථාවල රථය හැසිරවීමට සහ පාලනය කිරීමට ඇති වන අපහසුතාවය පිළිබඳ තොරතුරු ඇති බව ද එහි සඳහන්.

එබැවින් අනතුරු සිදුවීමට ඇති හැකියාවත්, ආලෝක පරාවර්තන ජැකට් පැළඳ නොසිටීම තුළින් නිලධාරින් අනතුරට පත්වීමේ අවකාශය වැඩි බවටත් නිරීක්ෂණය වී ඇති බැවින් මෙම තීරණය ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළා.