දේශපාලන උවමනාවන් මත පොලිස් නිලධාරීන් ස්ථාන මාරු කිරීම නතර කිරීමට කටයුතු කර තිබෙනවා.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ මින් ඉදිරියට සියලු ස්ථාන මාරු සිදු කරන්නේ නිවැරදි ක්‍රමවේදයකට බවයි.
ඒ අනුව පොලිස් නිලධාරීන් ස්ථාන මාරු කිරීමට පෙර ඒ පිළිබඳ ඇගයීමක් සිදු කිරීමට නියමිතයි.
එහිදී අදාළ නිලධාරීන් පොලිස් ස්ථානයේ කළ සේවය, එහි ප්‍රගතිය මෙන්ම ඔවුන්ගේ සේවා හැකියාවන් සහ දක්ෂතාවන් සැලකිල්ලට ගනු ඇති.
පොලිස් ස්ථානාධිපතිවරුන් ස්ථාන මාරු කිරීමේදී මෙවැනි දත්ත සහිත වාර්තාවක් ලබා ගැනෙනවා.
පසුව අදාළ වාර්තා උසස් පොලිස් නිලධාරීන් සහතික කිරීමෙන් පසුවයි ස්ථාන මාරුවීම් අනුමත වන්නේ. එමෙන්ම කිසියම් නිලධාරියෙකුට එරෙහිව චෝදනා පවතින්නේ නම් ඊට අදාළ විමර්ශන හා එහි වාර්තාද මෙහිදී සැලකිල්ලට ගැනීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව හිතවත්කම් මත හෝ දේශපාලන උවමනාවන් සහ බලපෑම් මත මින් ඉදිරියට පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් සිදු නොවනු ඇති බවටයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ.
ඒ අනුව එක් පොලිස් ස්ථානයක වසර 03ක් හෝ ඊට වැඩියෙන් සිටින පොලිස් නිලධාරීන් නිසි ක්‍රමවේදයකට යටත්ව ස්ථාන මාරු කිරීමට නියමිතයි.
පොලීසියේ පහළ නිලයන්ගේ සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලය දක්වාම මින් ඉදිරියට ස්ථාන මාරු කිරීම් සිදු වන්නේ මෙම ක්‍රමවේදයට අනුවයි.
මේ අතර 2025 වර්ෂයට අදාළ පොලිස් දෙපාර්තමේන්තුවේ වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝග ක්‍රියාත්මක කිරීම මාස හයකට අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ලබන වසරේ ජනවාරි මස පළමුවැනි දිනට ක්‍රියාත්මක කිරීමට නියමිත 2025 වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝග ජුනි මස 30 වන දින දක්වා දීර්ඝ කර ඇතැයි සඳහන්.
අත්‍යාවශ්‍ය හේතුන් මත එදිනට පෙර වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝග ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නිලධාරින් සිටි නම් ඒ සම්බන්ධයෙන් වාර්තාවක් පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් සකස් කර නියෝජ්‍ය පොලිස්පති මානව සම්පත් කළමණාකරන සහ ජාත්‍යන්තර සබඳතා දිසාව වෙත යොමුකිරීමට කටයුතු කළ යුතු වනවා.
කෙසේවෙතත් රාජකාරි අවශ්‍යතා මත 2025 වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝග ක්‍රියාත්මක කිරීමට මෙම නියෝගය බාධාවක් නොවන බවට දැනුම් දී ඇතැයි ද වාර්තා වනවා.