Friday, December 27, 2024

General line - 0115112241

පුද්ගලයින් 67 දෙනෙකුට මරු කැඳවූ ගුවන් යානයේ කළු පෙට්ටිය සොයා ගැනේ




නත්තල් දා කසකස්තානයේදී පුද්ගලයින් 67 දෙනෙකු රැගෙන යමින් සිටියදී අනතුරට ලක්වූ ගුවන් යානයේ කළු පෙට්ටිය සොයාගෙන තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව මෙම අනතුරින් පුද්ගලයින් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. 

අසර්බයිජාන් ගුවන් සේවයට අයත් මෙම ගුවන් යානය අනතුරට ලක්වුණේ කසකස්තානයේදී හදිසි ගොඩබෑමක් කිරීමට උත්සාහ දැරීමේදී ගිනි ගැනීමකට ලක්වයි. 

ඒ, යානය රුසියාව බලා ගමන් කරමින් සිටියදීයි. 
 

තහවුරු නොකළ වාර්තා උපුටා දක්වමින් රුසියානු මාධ්‍ය වාර්තා කළේ යානය කඩා වැටීමට පෙර කුරුල්ලන් රංචුවක් එහි ගැටෙන්නට ඇති බවයි. 

එහෙත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් වන තුරු බලධාරීන් අනතුරට හේතුව පිළිබඳ නිල ප්‍රකාශයක් කර නැහැ. 

යානයේ සිටි අය අසර්බයිජානියානු ජාතිකයන් වූ නමුත් රුසියාව, කසකස්තානය සහ කිර්ගිස්තානය යන රටවලින් පැමිණි මගීන් ද එහි සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.