Saturday, December 28, 2024

General line - 0115112241

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර සිව්වන ටෙස්ට් තරඟයේ දෙවන දිනය අද




සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර සිව්වන ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි. 

සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියානු  කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුලු 07ක් දැවී ලකුණු 411ක් රැස් කරගෙන සිටියා. 

ස්ටීව් ස්මිත් නොදැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 118ක්. 

එය ඔහුගේ 34වන ටෙස්ට් ශතකය වනවා. 

මානස් ලැබුෂේන් ලකුණු 72ක් රැස් කළ අතර සිය මංගල ටෙස්ට් තරඟයට ක්‍රීඩා කළ යොවුන් ක්‍රීඩක සෑම් කොන්ස්ටස් ලකුණු 60ක් රැස් කිරීමට සමත් වුණා. 

වයස අවුරුදු 19ක් වන සෑම් කොන්ස්ටස් මෙම තරඟයේදී වාර්තා කළ අර්ධ ශතකය ඉතිහාසයට එක් වුණේ ඕස්ට්‍රේලියාව වෙනුවෙන් සිය මංගල ටෙස්ට් තරඟයේදී අර්ධ ශතකයක් වාර්තා කළ ලාබාලතම පිතිකරුවා ලෙසටයි. 

එමෙන්ම ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් අර්ධ ශතකයක් වාර්තා කල දෙවන ලාබාලතම ක්‍රීඩකයා ලෙසද ඔහු ඉතිහාසයට එක්වුණා. 
 

ඉන්දීය සුපිරි වේගපන්දු යවන්නා වන ජස්ප්‍රිට් බුම්රාගේ එකොළොස්වන පන්දු ඕවරයේදී මෙම යොවුන් ක්‍රීඩකයා ලකුණු 18ක් රැස් කළ අතර එය ජස්ප්‍රිට් බුම්රා ටෙස්ට් තරඟයක එක් පන්දු ඕවරයකදී ලබා දුන් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසටයි වාර්තා අතරට එක් වුණේ. 
 

සෑම් කොන්ස්ටස්ගේ පිති ප්‍රහාරය හමුවේ උරණ වූ ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි, කොන්ස්ටස්ගේ උරහිසේ ගැටීමද මෙහිදී සිදුවූ අතර ඒ හේතුවෙන් ඔහුට දඩ මුදලක් පැනවීමටද තරඟ තීරකවරයා කටයුතු කළා.