Friday, January 24, 2025

General line - 0115112241

රාජකාරී වෙලාවේ බීමතින් සිටි සැරයන්වරු දෙදෙනෙකුට ස්ථාන මාරු




සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තම රාජකාරිය අතරතුරදී බීමතින් හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝපටය සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. 

ඒ, වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් අනුවයි. 

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා.

සමාජ මාධ්‍යවල දැක්වෙන වීඩියෝපටයේ බීමතින් හැසිරෙන පොලිස් සැරයන්වරුන් දෙදෙනා පානදුර උතුර පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරී කළ නිලධාරීන් දෙදෙනෙක්. 

රාජකාරී වේලාව තුළ නිල ඇඳුමෙන්ම ඔවුන් දෙදෙනා එලෙස බීමත්ව අශෝභන අයුරින් හැසිරී ඇති බවයි වාර්තා වන්නේ.

පානදුර උතුර පොලිස් ස්ථානයට අයත් ත්‍රීරෝද රථයක රාජකාරී සඳහා ගොස් සිටි එම නිලධාරීන් දෙදෙනා එම ත්‍රීරෝද රථය අතරමග දමා වෙනත් ස්ථාන දෙකක නිදා සිට තිබෙනවා. 

අලුයම් කාලයේ අදාළ ත්‍රීරෝද රථය නවතා තිබූ ස්ථානයෙන් ගමන් කරමින් සිටි පානදුර උතුර පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා එම ත්‍රීරෝදරථය දැක නිරීක්‍ෂනය කරද්දී එහි කිසිවෙකුත් රැඳී සිට නැහැ.

වැඩිදුර සොයා බැලීමකදී එක් සැරයන්වරයෙකු වෙනත් ත්‍රීරෝද රථයක බීමතින් නිදා සිටින ආකාරය ස්ථානාධිපතිවරයා දැක තිබෙනවා.

ඒ අනුව එම සැරයන්වරයා පානදුර උතුර පොලිස් ස්ථානය වෙත රැගෙන යාමට ස්ථානාධිපතිවරයා කටයුතු කර තිබෙනවා. 

අනෙක් සැරයන්වරයා බීමතින් නිදා සිට ඇත්තේ වෙනත් ස්ථානයකයි. 

ඒ අනුව ඔහු සිටි ස්ථානයද සොයා ගෙන බීමතින් සිටි එම සැරයන්වරයාව පානදුර උතුර පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමට කටයුතු කර ඇත්තේ එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.   

චෝදනා එල්ල වී ඇති පොලිස් සැරයන්වරුන් දෙදෙනා බණ්ඩාරගම සහ පිංවත්ත පොලිස් ස්ථානවලට මාරු කිරීමට පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා.