Wednesday, January 15, 2025

General line - 0115112241

අනාගත බලාපොරොත්තුවකට අද ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ දොර විවරවන ලකුණු




සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ 05 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය අද පස්වරු 2.30 ට ආරම්භ වනවා. ඒ, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි. මෙම තරඟයේදී යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක්දින වරම් හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ. 

ඉකුත් යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදුන් දුනිත් වෙල්ලාලගේ පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද විශිෂ්ඨ දස්කම් දැක්වීමට සමත් වුණා. විස්සයි 20 තරඟාවලියට ක්‍රීඩා නොකළ ධනංජය සිල්වාට ද අද තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් හිමිවනු ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග අනාවරණ කළේ.

මේ අතර අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට පිතිකරුවන් 06 දෙනෙක්, තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙක් සහ දඟ පන්දු යවන්නන් 03 දෙනෙක් ක්‍රීඩා කරනු ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා. 

දෙරට අතර මේ දක්වා එක්දින තරඟ 97 ක් පවත්වා ඇති අතර ඉන් තරඟ 61 ක් ජයගෙන ඇත්තේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි. ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 32 ක් ජයගෙන ඇති අතර තරඟ 04 ක් විසදුමකින් තොරව නිමාවට පත්ව තිබෙනවා.