Wednesday, January 15, 2025

General line - 0115112241

ඉන්ධන විකිණීමේ චෝදනාවට ක්‍රිකට් ආයතනයෙන් පිළිතුරු




ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන පරිශ්‍රයේදී ඉන්ධන අලෙවි කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ සිය ආයතනය කිසිදු ආකාරයකින් ඉන්ධන ගබඩා කර විකිණීමේ කිසිදු කටයුත්තක නිරත නොවුණු බවයි.

 ලංකා අයි.ඕ.සී සමාගමෙන් මිලදී ගත් ඉන්ධන තොගයක් කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගන පරිශ්‍රයේ ගබඩා කර ඇති බවත් එය ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා තරඟ සංචාරයේ අවශ්‍යතා සඳහා භාවිත කෙරෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයේ සදහන්.

කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් ගමන් ගන්නා බස්රථ, නිල වාහන, ක්‍රීඩාංගනයේ බිම් නඩත්තු යන්ත්‍ර, විදුලි ජනජ යන්ත්‍ර ආදියට එම ඉන්ධන භාවිතා කෙරෙනවා. ඒ අනුව අදාල කරුණ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරු පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.