Sunday, February 23, 2025

General line - 0115112241

කාලගුණයෙන් රතු නිවේදනයක් - යළි දැනුම්දෙන තුරු මුහුදු ගමන් තහනම්

එන් ඒ ඩබ් නිරෝෂන්



ඉදිරි දින කිහිපය තුළ මුහුදු ප්‍රදේශය හරහා තද සුළං ඇතිවිය හැකි බැවින් නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික සහ ධීවර ප්‍රජාවට දැනුම් දෙනවා.

හෙට දිනය වන විට බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ඇතිවීමට ඉඩ ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක පැවසුවේ.  

අද පෙරවරු 08න් අවසන් වූ ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය පාලින්ද නුවරින් වාර්තා වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අගය මිලිමීටර් 107ක්. මීට අමතරව ඉංගිරිය, බණ්ඩාරගම, මාදම්පේ සහ කිරිඳිවැල යන ප්‍රදේශවලට ද මිලිමීටර් 72කට වඩා වැඩි වැසි ඇදහැලී තිබෙනවා.

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් ප්‍රදේශ රැසකට තවදුරටත් තද වැසි අපේක්ෂිතයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ රතු පැහැති වර්ණයෙන් යුත් නිවේදනයක් නිකුත් කරමින් අනතුරු අගවා සිටියේ බස්නාහිර, සබරගමුව, වයඹ යන පළාත්වලටත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලටත් තද වැසි අපේක්ෂා කරන බවයි.

ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ පවතින වැසි තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 33,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි.

ඔවුන් රත්නපුර, කොළඹ, කෑගල්ල, අනුරාධපුර, මහනුවර, ගාල්ල, කළුතර, යාපනය, පුත්තලම සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්.

ආරක්ෂිත ස්ථාන 11ක රඳවා සිටින පුද්ගලයින් සංඛ්‍යාව 1,827 දෙනෙක්. ජනතාවට සහන සැලසීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප්  කොඩිප්පිලි පැවසුවේ.

අයහපත් කාලගුණය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් අද දිනයේද වසා දමා තිබෙනවා.

මේ පුත්තලමේ වත්මන් තත්ත්වය පිළිබඳ පැහැදිලි කරන නෙත් නිවුස් වාර්තාකරු ජූඩ් සමන්ත.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ ගංඟා ආශ්‍රිත ජල මට්ටම තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බවයි.

ඒ අනුව කළු ගඟේ මගුර ප්‍රදේශයේ ජල මට්ටම අඩුවෙමින් ඇතත් එහි අවදානම තවමත් පවතින බවයි ඔවුන් පැවසුවේ.

කළු ගගේ මිල්ලකන්ද ප්‍රදේශයේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් ඇත්තේ සුළු ගංවතුර  තත්ත්වයක් ද මතු කරමින්.

ගිං ගඟේ බද්දේගම ප්‍රදේශයේ ජල මට්ටම ඉහළ යමින් පවතිනවා.

නිල්වලා ගඟේ තල්ගහගොඩ හා පනාදුගම ප්‍රදේශය තවමත් ඇත්තේ අවදානම් තත්ත්වයකයි.

අත්තනගලු ඔයේ සුළු ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවා.