Monday, May 26, 2025

General line - 0115112241

හෙළ සිනමාවේ නිළි රැජිනට අවසන් ගෞරව දක්වන්න විශාල පිරිසක් - දේශීය සිනමාවේ හිඩස නැවත පිරවිය නොහැකි බව අගමැතිනිය කියයි



මාලනී ෆොන්සේකා මහත්මියගේ අභාවය පිළිබඳ ශෝකය පළ කරමින් අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය විසින් ශෝක පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. 

ශ්‍රී ලාංකේය සිනමා වංශකතාවේ “නිළි රැජින” වෙමින් දේශීය සිනමාව සිය රංගන දායකත්වයෙන් පෝෂණය කළ මාලනී ෆොන්සේකා මහත්මියගේ අභාවය සැලවීමෙන් තමා මහත් කම්පනයට පත්වූ බව එහි සඳහන්.

නිධානය, සිරිපාල හා රන්මැණිකා, බඹරු ඇවිත්, ආරාධනා, හිඟන කොල්ලා  ඇතුළු සියයකට අධික ජනාදරයට පත් සිනමා නිර්මාණයන් ස්වකීය නිසඟ රංගන දායකත්වයෙන් පෝෂණය කළ ඇය, ඒ වෙනුවෙන් මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ විශේෂ ජූරි සම්මානයෙන් හා සරසවිය සම්මාන රැසකින්ම පිදුම් ලැබීමට තරම් භාග්‍යවන්ත වූ බවයි අදාළ පණිවිඩයේ සඳහන් වන්නේ. 

ප්‍රතිභාපූර්ණ රංගවේදිනියක ලෙස දශක ගණනාවක් අපගේ සිනමාව අර්ථෙයන්, රසයෙන් හා රූපයෙන් පෝෂණය කළ ඇගේ නික්මයාමෙන් දේශීය සිනමාවේ ඇතිවන හිඩැස නැවත පිරවිය නොහැකි බවයි අග්‍රාමාත්‍යවරිය අදාළ ශෝක පණිවිඩයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. 

මේ අතර අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියද අද මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා චිත්‍රපට සංස්ථාවට පැමිණියා. 

මාලනී ෆොන්සේකා මහත්මියට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. 

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මාලනී ෆොන්සේකා මහත්මියට අවසන් ගෞරව දැක්වීමට අද චිත්‍රපට සංස්ථාවට පැමිණ සිය ශෝකය පළ කළා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාද මාලනී ෆොන්සේකා මහත්මියගේ අභාවය පිළිබඳ මෙලෙස අදහස් දැක්වුවා.