පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමගි ජන බලවේගයේ දරනු ලබන තනතුරු සහ ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් පනවා තිබෙන වාරණ නියෝගය අත්හිටුවීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා, එම පක්ෂය විසින් ගොනු කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීම සඳහා ජුනි මස 05 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියම කළා.
ඒ එම ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීම සඳහා ජුනි මස 05 වනදා කැඳවන ලෙසයි.
හිටපු යුද හමුදාපති දයා රත්නායක සමගි ජන බලවේගයට එක්කර ගැනීම සම්බන්ධයෙන් තමන් විසින් සිදු කළ ප්‍රකාශය පදනම් කරගෙන සමගි ජන බලවේගය නායකයින් විසින් සිය පක්ෂ සාමාජිකත්වය හා තමන් දැරූ තනතුරු වලින් ඉවත් කිරීමේ සූදානමක් පවතින බව සඳහන් කරමින් සරත් ෆොන්සේකා විසින් කොළඹ දිසා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා.
එම පෙත්සම විභාග කළ කොළඹ දිසා අධිකරණය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා අදාල තනතුරු වලින් ඉවත් කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කළා.
එම වාරණ නියෝගය නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් එය අත්හිටුවීමේ තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලා සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පිරිසක් විසින් අභියාචනාධීකරණයට මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.