Sunday, February 23, 2025

General line - 0115112241

අදත් ප්‍රදේශ රැසකට මිලි මීටර් 150ට වැඩි ඉතා තද වැසි - කැලණි, කළු සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළට



පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් කැලණි සහ කළු යන ගංගාවල මෙන්ම අත්තනගලු ඔයේද ජල මට්ටම ඉහළ යමින් තිබෙනවා.

වාරි මාර්ග දෙපාර්තමේන්තුව අද අලුයම නිකුත් කළ නවතම නිවේදනයට අනුව කැලණි ගඟ සහ කළු ගඟ පවතින්නේ සුළු ගංවතුර අවදානම් තත්ත්වයකයි.

කැලණි ගඟ, හොලොම්බූව ප්‍රදේශයෙන් සුළු ගංවතුර තත්ත්වයක පවතින අතර එහි ජල මට්ටම වැඩි වෙමින් පවතිනවා.

කැලණි ගඟේ සෙසු ප්‍රදේශ සාමාන්‍ය තත්ත්වයේ පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර පැවසුවේ.

කළු ගඟේ වැඩිම අවදානමක් ඇත්තේ මිල්ලකන්ද ප්‍රදේශයෙන්. එහි තවමත් ඇත්තේ සුළු ගංවතුර තත්ත්වයක්.

කළු ගඟ පුටුපාවුල ප්‍රදේශයෙන් අවදානම් තත්ත්වයක පවතින අතර එහි ජල මට්ටම වැඩි වෙමින් පවතිනවා.

මගුර සහ රත්නපුර යන ප්‍රදේශවලදී කළු ගඟේ අවදානම් තත්ත්වයක් පැවති අතර එහි ජල මට්ටම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.

ගිං ගඟ බද්දේගම ප්‍රදේශයෙන්ද, නිල්වලා ගඟ තල්ගහගොඩ හා පනාදුගම යන ප්‍රදේශවලින් අවදානම් තත්ත්වයේ පවතිනවා. 

අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් පවතින්නේ අවදානම් තත්ත්වයකයි. එහි ජලය ක්‍රමයෙන් වැඩි වෙමින් ඇතැයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව පැවසුවා. 

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ අද දිනයේද ප්‍රදේශ රැසකට මිලි මීටර් 150කට වඩා වැඩි වැසි අපේක්ෂා කරන බවයි.

මේ, අද දවසේ කාලගුණ අනාවැකිය ගෙන එන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර.

ඊයේ පස්වරුවේ සිටම ප්‍රදේශ රැසකට තද සුළං තත්ත්වයක් පැවති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

ගස් කඩා වැටීම් නිසා සිදු වූ ආපදා තත්ත්වයන් ප්‍රදේශ රැසකින්ද වාර්තා වනවා.