Sunday, February 23, 2025

General line - 0115112241

තද සුළං අවදානමක් - නායයෑමේ අනතුර තවදුරටත්



අධික වැසි සමග ඇති විය හැකි තද සුළං සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළා.

ඒ අනුව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල හා උතුරු, උතුරු මැද, බස්නාහිර, දකුණ සහ වයඹ පළාතේත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේත් තද සුළං ඇති විය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවලටද තරමක තද සුළං අපේක්ෂිත බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.

මේ අතර සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150කට වඩා ඉතා තද වැසි අපේක්ෂිතයි.

බස්නාහිර හා වයඹ පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වඩා වැඩි තද වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. 

තද වැසි සමග පවතින නායයෑමේ අවදානමද තවමත් අඩු වී නොමැති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධිර පැවසුවා.

පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් කැලණි, කළු, ගිං සහ නිල්වලා යන ගංගාවල ජල මට්ටම සම්බන්ධයෙන් ද වාරි මාර්ග දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් අද පෙරවරුවේ නිකුත් කළා. 

ඒ අනුව කැලණි ගඟ, කළු ගඟ, ගිං ගඟ හා නිල්වලා ගඟේ අවදානම් තත්ත්වය තවමත් පවතින බව එහි සඳහන්.

කෙසේවෙතත් අත්තනගලු ඔයේ ජල මට්ටම තවදුරටත් වැඩි වෙමින් දූනමලේ ප්‍රදේශයෙන් පවතින්නේ සුළු ගංවතුර තත්ත්වයකයි.