ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් එල්ල කරන ලද අවමන්සහගත සහ අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරන ලද තුසිත හල්ඔලුව යන අයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත ඔහුගේ නීතිඥ අකලංක උක්වත්ත මහතා විසින්.
ඊයේ දිනයේ මෙම පැමිණිල්ල ගොනු කරනු ලැබ ඇති අතර ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා ද එම අවස්ථාවට එක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
ග්‍රීසියේ නැව් සමාගමක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රුපියල් බිලියන 04ක මුදලක් ආයෝජනය කර ඇති බවට චෝදනා කරමින් අදාළ ප්‍රකාශය සිදුකර තිබුණා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නම යොදා ගනිමින් සිදු කරන ලද එම ප්‍රකාශය හරහා ඔහුගේ කීර්ති නාමයට අහිතකර සහ දැඩි අගතිදායී බලපෑමක් සිදු විය හැකි බැවින් තුසිත හල්ඔලුව යන අයට එරෙහිව සහ එකී ප්‍රකාශය සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය කිරීමට කටයුතු කළ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ට එරෙහිව කඩිනම් විමර්ශනයක් සිදු කර නීත්‍යානුකූල පියවර ගන්නා මෙන් අදාළ පැමිණිල්ල මගින් ඉල්ලා තිබෙනවා.