Monday, February 24, 2025

General line - 0115112241

අදත් මහ වැසි සහ තද සුළං - ධීවරයන්ටත් දැනුම් දීමක්

සමන් පාලිත-නිරෝෂන



දිවයිනේ බොහෝ ප්‍රදේශවල තවදුරටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර ඒකනායක පැවසුවේ ඇතැම් ප්‍රදේශ හරහා  පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර තද සුළං ද පැවතිය හැකි බවයි.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමු කරන ලෙසට ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක්ද කළා.

මේ අතර පවතින අයහපත් කාලගුණය හමුවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 160කට අයත් පවුල් 9,616ක පුද්ගලයින් 34,880 දෙනෙකු බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ආපදා හමුවේ ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 06ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

ආපදා හමුවේ පූර්ණ නිවාස හානි 05ක් සහ අර්ධ නිවාස හානි 1,246ක් ද වාර්තා වී තිබෙනවා.     

ඇදහැළෙන මහ වැසි හා තද සුළං හේතුවෙන් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය ස්ථාන 04කින් සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා. 

එමෙන්ම උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදවීම් සහිතව සිදු වන බවයි නෙත් නිවුස් වාර්තාකරු සමන් පාලිත නානායක්කාර පැවසුවේ.

මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මෙම දිනවල විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමේදී වැඩි සැලකිල්ලක් දක්වන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරල් උදය හේරත් පැවසුවේ ජලාශවලට බැසීමේදී සහ තද සුළං පවතින ස්ථාන පිළිබඳ ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

සංචාරයේ යෙදෙනවා සේම පරිසරය ආරක්ෂා කර ගැනීමද සියලු දෙනාගේ වගකීමක් බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.