Friday, March 28, 2025

General line - 0115112241

නරේන්ද්‍ර මෝදී අද ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිතයි 



ඉන්දීය මහමැතිවරණයෙන් ජයග්‍රහණය ලැබූ නරේන්ද්‍ර මෝදී අද එරට අග්‍රාමාත්‍ය දුරයේ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. 

විදෙස් මාධ්‍ය පැවසුවේ අගමැතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයේ පස්වරු 7ට පමණ රාෂ්ට්‍රපති භවන් ප්‍රදේශයේදී පැවැත්වෙනු ඇති බවයි. 

එසේම මෝදී සමඟ අමාත්‍යවරුන් 30 කට ආසන්න පිරිසක්ද දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. 

ඒ සමඟ ඔහු වසර තුනක් පිටපිට මහමැතිවරණය ජයග්‍රහණය කල දෙවන අගමැතිවරයා වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කලේ. 

කෙසේ වෙතත් නරේන්ද්‍ර මෝදීගේ ආරාධනයෙන් දිවුරුම් දීමේ උත්සවය සඳහා විදෙස් නායකයින් විශාල ප්‍රමාණයක් සහභාගී වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මාලදිවයිනේ ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු, සීෂෙල්ස් උප ජනාධිපති අහමඩ් අෆීෆ්, බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා, මොරිෂස් අගමැති ප්‍රවින්ද් කුමාර් ජුග්නවුත්, නේපාල අගමැති පුෂ්ප කමල් දහාල් ප්‍රචණ්ඩා ද මෙම උත්සවයට සහභාගී වීමට නියමිතයි. 

එසේම දිල්ලි නුවර වෙසෙන වෙනත් රටවල නියෝජිතයන් ද උත්සවයට සහභාගී වීමට නියමිත බවයි වාර්තා වන්නේ. 

මාධ්‍ය වාර්තාවලට අනුව දිවුරුම් දීමේ උත්සවය සඳහා ආරාධිතයන් 8,000 කට අධික පිරිසක් සහභාගී වීමට අපේක්ෂිතයි. 

මේ හේතුවෙන් එරට අගනුවරට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති අතර තහනම් නියෝග කිහිපයක්ද නිකුත් කර තිබෙනවා. 

පුටු විශාල සංඛ්‍යාවක් සකස් කර රතු පලසක් එළන අයුරු දැක්වෙන ආකාරයේ දර්ශන කිහිපයක්ද මේවන විට මාධ්‍ය මගින් අනාවරණය කර ඇති බවට සඳහන්. 

කෙසේ වෙතත් මෝදි පසුගිය දිනක සිය ඉල්ලා අස්වීමේ ලිපිය එරට ජනපති ද්‍රෞපදි මුර්මු වෙත භාර දී තිබෙනවා.

ඉන්දීය මහමැතිවරණය මෙවර පැවැත්වුණේ ලෝක් සභාවේ ආසන 543ක් සඳහා සභිකයින් තෝරා ගැනීමටයි. 

එහි බහුතරය ලබා ගැනීමට නම් එක් පක්ෂයක් ආසන 272ක් ලබා ගත යුතුව තිබුණා. 

කෙසේ වෙතත් මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට හිමිව ඇත්තේ ආසන 240ක් පමණයි.

ඒ අනුව භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය මෙවර මැතිවරණය ජයග්‍රහණය කළත් පක්ෂයක් ලෙස 18 වැනි ලෝක් සභාවේ බහුතර බලය හිමිකර ගැනීමට භාරතීය ජනතා පක්ෂයට හැකියාවක් ලැබී නැහැ