2020 වසරේ තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි විසින් ගොනු කළ පෙත්සම විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළා.
ඒ එම පෙත්සම එස්. තුරෙයි රාජා, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.
එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම චෝදනාවට අදාළව තම සේවා දායකයාව කොළඹ මහාධිකරණය හමුවේ පැවති නඩු විභාගයකින් අනතුරුව නිදොස් කොට නිදහස් කර තිබෙන බව සඳහන් කළා.
මේ තුළින් සිය සේවාදායකයාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී තිබෙන බවත් මෙවැනි අකටයුතුකම් ඉදිරියේදී සිදුවීම වළක්වා ගැනීම සඳහා පෙත්සම විභාගයට ගැනීමට දින නියම කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඒ අනුවයි අදාළ පෙත්සම ලබන සැප්තැම්බර් මස 02 වන දා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේ.