Thursday, February 27, 2025

General line - 0115112241

රට පුරා පොසොන් කලාප 322ක් - තොරණ 296ක් සහ දන්සැල් 4,500ක්



මෙවර පොසොන් උත්සව නිමිත්තෙන් සිදුකෙරෙන ආගමික සහ සංස්කෘතික වැඩසටහන් වල ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  උපදෙස් ලබාදී තිබෙනවා.

ඊයේ පැවති සාකච්ඡාවකදී සියලුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, දිසාභාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීන් වෙත පොලිස්පතිවරයා එම උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වුණේ.

දිවයින පුරා පිහිටි විහාරස්ථාන 11,095ක පොසොන් පොහොය දින වැඩසටහන් පැවැත්වෙන අතර පොසොන් කලාප 322ක්, පොසොන් තොරණ 296ක්, දන්සැල් 4,557ක් පැවැත්වෙන බවට පොලිස් ස්ථාන මගින් වාර්තා කර තිබෙනවා.

ඉන් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාත තුළ පිහිටි විහාරස්ථාන ආශ්‍රිතව සංවිධානය කරන ලද වැඩසටහන් බවටයි වාර්තා වී ඇත්තේ.

ඒ අනුව, දිවයිනේ විවිධ ප්‍රදේශයන් ඔස්සේ පැමිණෙන සැදැහැවතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. 

ඒ යටතේ ආරක්ෂක රාජකාරි සදහා පොලිස් නිළධාරීන් 19,062ක්, විශේෂ කාර්ය බලකා නිළධාරීන් 370ක්, ත්‍රිවිද හමුදා භටයින් 607ක් යෙදවීමටයි තීරණය කර ඇත්තේ

ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් 26,013කට අධික පිරිසක් ද මෙම ආරක්ෂක වැඩපිළිවෙළ සදහා යෙදවීමට සුදානම් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළා.

එසේම, පොලිස් ස්ථාන මට්ටමින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන ලෙසටත්, දිවා රාත්‍රි ජංගම සංචාර, යතුරු පැදි සංචාර මගින් ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කරන ලෙසටත් එහිදී පොලිස්පතිවරයා විසින් උසස් පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබුනා.