Sunday, March 2, 2025

General line - 0115112241

බස් ගාස්තු සංශෝධනයෙන් පසු ඉතුරු සල්ලි ගැන අලුත් ප්‍රශ්නයක්



බස් ගාස්තු සංශෝධනයෙන් පසු මේ වන විට අලුත් ගැටලුවක් මතුව තිබෙනවා.

ඒ, සංශෝධනය වූ බස් ගාස්තුවේ වාසිය නොලැබෙන බවට ජනතාව චෝදනා කිරීමත් සමගයි.

බොහෝ පිරිස් පැවසුවේ ගාස්තුව අඩු වී ඇතත් බොහෝ මාර්ගවල බස් රථ තවමත් පැරණි ගාස්තුවම අය කරන බවයි.

ඉතිරි මුදල් ලබා දීමට මාරු කාසි නොමැති බවට කොන්දොස්තරවරුන් පවසන බවයි ඔවුන් කියා සිටියේ. 

අඩු කළ බස් ගාස්තු මෙතෙක් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්නගෙන් නෙත් නිවුස් කරුණු විමසීමක් කළා.


කෙසේවෙතත් ජූලි මස පළමුවනදා සිට සිදු කෙරුණු බස් ගාස්තු සංශෝධනය අනුව ටිකට් පත් නිකුත් කිරීම පසුගිය දින දෙක තුළ බොහෝ බස් රථවල සිදු නොවූ බවටයි මගී ජනතාවගෙන් චෝදනා එල්ල වන්නේ.

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම පැවසුවේ එවැනි බස් රථ සම්බන්ධයෙන් සිය කොමිසම වෙත පැමිණිලි ඉදිරිපත් කරන ලෙස මගීන්ගෙන් ඉල්ලා සිටින බවයි.

මේ වන විටද ඉතිරි මුද්ල ලබා නොදීම හා ටිකට් පත් නිකුත් නොකිරීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බව ඔහු පැවසුවා.

ඒ අනුව සංශෝධිත බස් ගාස්තු අය නොකර වැඩියෙන් මුදල් අයකරන බස් රථ සේවකයන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම පැවසුවේ. 


ඉකුත් දා සිදුවූ ඉන්ධන මිල සංශෝධනයත් සමග බස් ගාස්තු සියයට පහයි දශම බින්දුවයි හතකින් අඩු කෙරුණා.

ඒ අනුව රුපියල් 30ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 28ක් දක්වා අඩු වුණා.

රුපියල් 38 බස් ගාස්තුව 36ක් දක්වාද, රුපියල් 50 බස් ගාස්තුව රුපියල් 47ක් දක්වාද අඩු වී තිබෙනවා.

රුපියල් 58, 69, 91, 94, 109, 173 වැනි බස් ගාස්තු අය කිරීමේදී ඉතුරු මුදල් ලබා නොදෙන බවයි බොහෝ මගීන් පැවසුවේ.