Wednesday, April 2, 2025

General line - 0115112241

අමනාප අමතක කර මෛත්‍රී සමග වැඩකරන්න දයාසිරි සූදානම්



යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක් වී කටයුතු කිරීමට සූදානම් බව එම පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

ඔහු කියා සිටියේ තමන් පක්ෂයේ හිටපු නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමගද කටයුතු කිරීමට සූදානම් බවයි.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් අර්බුදයේ පළමු සිද්ධිය බවට පත් වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පක්ෂ මහලේකම් ධූරයෙන් ඉවත් කිරීමත් සමගයි.

එම තීරණයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළ අතර එහිදී අධිකරණය නියෝග කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධූරයෙන් ඉවත් කිරීමට එම පක්ෂය ගත් තීරණය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමටයි.

මේ අතරතුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කණ්ඩායම් දෙකකට වෙන් වී ගියා. කෙසේවෙතත් තමන් මහලේකම්වරයා ලෙස මෙම සියලු කණ්ඩායම් සමග වැඩ කරන බවයි ජයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පැවසුවේ.


ඔහු මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක්වෙමින්.