Monday, March 3, 2025

General line - 0115112241

විසිවන සියවස, ඉතිහාසයේ මඟහැරුණු මොහොත සහ ජාතික පුනරුදයපොත එළිදැක්වීම



පුනරුද යුගයේ ආරම්භයේදී ජාතික ආරක්ෂාවටත්, ආහාර සුරක්ෂිතභාවය වෙනුවෙනුත්, කෘෂි නිෂ්පාදන, මත්ස්‍ය නිෂ්පාදන, කිරි, බිත්තරවලින් යළි වර්ධනයක් අත්පත් කරගත යුතු බවත්  අපේ ඛනිජ සම්පත් මත, ලෝකයේ තාක්ෂණික උවමනාවන් මත ගොඩනැගෙන නව කර්මාන්ත අවධියකට අපේ රට පරිවර්තනය කළ යුතුබව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව පවසා සිටියේ  විසිවන සියවස, ඉතිහාසයේ මඟහැරුණු මොහොත සහ ජාතික පුනරුදය
පොත එළිදැක්වීම උත්සවයේදී 

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසා සිටියේ මෙවැන්නක් 

" අපේ රටේ ඇතිවී තිබෙන තත්වයත්, එය ඇතිවීමට හේතු සාධක පිළිබඳවත් ඉතාමත් හොඳින් කැටිකොට සම්පිණ්ඩනය කොට ඉලක්ක සහගතව ඉදිරිපත් කිරීමට මේ කෘතිය විශාල වෑයමක් දරා තිබෙනවා. 

ඒනිසා මේ කෘතිය සම්පාදනය කරන්න වෙහෙස වුණු සියලු දෙනාටම පළමුව ස්තුතිවන්ත වෙනවා. 

සමාජය තුළ වෙනසක් අවශ්‍ය බවට කතිකාවකත් නිර්මාණය වී තිබෙනවා. 

වෙනසක් පිළිබඳව පිපාසයෙන් ඉන්න ජනතාවට ඕනෑ කවරාකාරයේ වෙනසක්ද යන්න පෙන්වාදීමට අපට අවශ්‍ය වුණා. 

රටක් හැටියට කඩා වැටී තිබෙන තත්වයෙනුත් ජනතාවක් හැටියට පත්වී තිබෙන ව්‍යසනයෙනුත් ගොඩ ඒම සඳහා රට කවර දිශාවකට පරිවර්තනය කළ යුතුයිද කියන කාරණය පිළිබඳව නිශ්චිත පැහැදිලිකිරීමක අවශ්‍යතාවය තිබුණා. 

ඒ අවශ්‍යතාවයේ මූලික පදනම තමයි මේ කෘතියෙන් ඉදිරිපත් කරන්නේ. 

මේ කෘතිය මත පදනම් වූ අපේ ආර්ථික වැඩපිළිවෙළ එළිදක්වන්න සූදානම් කර තිබෙනවා. 

දැනටමත් මේ මත පදනම් වූ ඉංජිනේරු ක්ෂේත්‍රයේ අපේ වැඩපිළිවෙළ ඉදිරිපත් කොට තිබෙනවා. 

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා කියලා අප ඉදිරියේ ප්‍රතිරූපයක් මවන මේ නායකයන් කවුද? ජේ.ආර්. ජයවර්ධන ලංකාවේ පළමු විධායක ජනාධිපති කීවාට, ඔහු ජනතාව විසින් පත්කර නොගත් පළමු විධායක ජනාධිපතියි. 

1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එන සංශෝධනයකින් ජනාධිපති වී 1978 ව්‍යවස්ථාවෙන් බලය තවදුරටත් තහවුරු කරගත්තා.

 78 ව්‍යවස්ථාව අනුව අවුරුදු හයකට පසු ජනාධිපතිවරණය පැවැත්විය යුතු වුවත්, ව්‍යවස්ථාවට තුන්වැනි සංශෝධනය ගෙනත් ඔහුම තරග වදින්නේ නම් වසර හතරක් ඉක්මවූ පසු ජනාධිපතිවරණයක් කැඳවිය හැකි තත්වට ව්‍යවස්ථාව වෙනස් කර 1982 ඔක්තෝබර් මාසයේ ජනාධිපතිවරණය පැවැත්වූවා. 

ජනාධිපතිවරණයේ ජයග්‍රහණයෙන් උදම්වීමත් සමග පාර්ලිමේන්තුවේ ධුර කාලය තව වසර හයකින් දීර්ඝ කරගන්න ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාවා. ව්‍යවස්ථා සංශෝධනය අනුමැතිය වෙනුවෙන් ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා. 

නියමිත පරිදි මහා මැතිවරණය පැවැත්වූවා නම් හයෙන් පහක බලයක් නොලැබෙන නිසා, ජනමත විචාරණ ප්‍රෝඩාව ගෙනාවා. විසිවැනි සියවසේ දේශපාලන සංකල්ප ක්‍රියාකාරිත්වයට ලක්කෙරෙමින් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් පුළුල් කර ගත්තත් අපේ පාලකයන් ඒ තත්වයට ගියේ නැහැ. 

තමන්ගේ ධුර කාලය වසර පහ දක්වා අඩුකර ගත් බවට උදම් අනමින් සිටි මෛත්‍රීපාල සිරිසේන වසර පහ අවසන් වෙන්න යනකොට වසර හයක් ඉන්න පුළුවන්ද කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසුවා. 

ඒ වෙලාවේ නීතිපතිගේ තර්කය වුනේ මෛත්‍රීපාල ජනාධිපතිවරයාට නොව ඊළඟ පත්වෙන ජනාධිපතිවරයාට තමයි වසර 05 අදාල වෙන්නේ කියලා. එහෙම තියෙද්දී දැන් ඉන්න ජනාධිපති වසර හයක් ඉන්න බැරිද කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහනවා. 

මේ මොන නායකයොද? බලය, බලය මත වැජඹෙන දුෂ්ට විනාශකාරී ත්‍රාඩ පංතියක් මේ ඉන්නේ. 

සමාජ සාධාරණත්වයේ භාවිතයේ පුනරුදයක් අවශ්‍යයි. නීතිය තියෙන්නේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් මිස පාලකයන්ට බලයේ ඉන්න නොවෙයි. 

19වැනි සංශෝධනයෙන් ද්විත්ව පුරවැසියන්ට මහජන නියෝජිතයන් ලෙස පත්විය නොහැකි කියලා සංශෝධනයක් ආවා. ගෝඨාභය රාජපක්ෂ බලයට ආවට පස්සේ ඒක වෙනස් කළා. 

ඒ සංශෝධන දෙකටම පාර්ලිමේන්තුවේ අත උස්සන අය ඉන්නවා. ත්‍රාඩ දේශපාලකයන්, ජාවාරම්කාර ව්‍යාපාරිකයන්, දූෂිත නිලධාරීන් අපේ රට ගිලගෙන තිබෙන්නේ. වෙන මොනවා නැතත් මේ ත්‍රාඩ දූෂිත වළල්ලෙන් මේ රට ගැලවීමම පුනරුදයක් කියලයි මටනම් හිතෙන්නේ. 

ඒ වගේම යටත් වුණු නිහඬ වුණු පුරවැසියන් වෙනුවට නව පුරවැසි ක්‍රියාකාරිත්වයක් සහිත ජනතාවක් අපේ රටට අවශ්‍යයි. ස්ත්‍රී, පුරුෂ ආදී වශයෙන් සමාජයේ සියලු බෙදීම් ඉවත් කළ සමාජයක් ගොඩනැගීම අවශ්‍යයි. 

ඒ වගේම විසිවැනි සියවසේ අධ්‍යාපනය සහ සෞඛ්‍යය ක්ෂේත්‍රයේ ලබාගත් මහා ජයග්‍රහණ අපේ ජනතාවට අත්කර දී නැහැ. එනිසා අධ්‍යාපනයේ සෞඛ්‍යයේ පුනරුදයක් අවශ්‍යයි.

 ප්‍රවාහනය ගත්තත් පුරවැසියන්ගේ ආදායමෙන් 35% - 40%ක් අතර වැය කිරීමට සිදුවෙලා තිබෙනවා. එතරම් ප්‍රමාණයක් වැය කළත් බොහෝ වේලාවක් පාරේ බස් එකේ නැත්නම් තමන්ගේ වාහනයේ රස්තියාදු වීමට සිදුවී තිබෙනවා. 

යහපත් පොදු ප්‍රවාහනයක් අපිට අවශ්‍ය නැද්ද? අද රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දෙමාපියන් කොතරම් කැපකිරීම් කරනවද? ආහාර වේල නොගෙන දරුවන්ට උගන්වන දෙමාපියන් ඉන්නවා. 

දරුවන්ට යහපත් අධ්‍යාපනයක් ලැබෙන සියලු පුරවැසියන්ට සෞඛ්‍ය ආරක්ෂාවක් තහවරු වෙන ඉතා දියුණු ප්‍රවාහන පද්ධතියක් සහිත සේවාවක් තහවරු කරන නව යුගයක් නිර්මාණය කළ යුතුයි. 

ගම්වල හුදකලා කර, නොසලකා හරින ලද නිර්ප්‍රභූ ජනතාවක් ඉන්නවා. ඔවුන් මේ සමාජයෙන් පිටමං කරලයි ඉන්නේ. 

එම ජනතාවට සමාජයේ ඇතිවෙමින් තිබෙන සංවර්ධනයේ අයිතිවාසිකම් භුක්ති විඳිමින් පෝෂ්‍යදායී ආහාර වේලක සිට සියලු ජීවන අපේක්ෂාවන් සපුරාලිය හැකි නව පුනරුද යුගයක් අවශ්‍ය නැද්ද? 

සියල්ලම විනාශකරමින්, අනාගතය විනාශ කරමින් පෞද්ගලික සුඛ විහරණය සලසා ගන්නා මේ ඊනියා සංවර්ධන ගමන වෙනුවට සොබාදහම සමග සහභාගිත්වයෙන් ඉදිරියට යන සංවර්ධන මාවතක් අපි හඳුන්වා දෙනවා. 

ඒ විතරක් නෙවෙයි පුරවැසියන්ට අර්ථාන්ව්ත සංස්කෘතික ජීවිතයක් ලබාදීම තවත් මූලිකම අරමුණක්. උදාහරණයක් විදියට ගත්තොත් අපේ රටේ වෛද්‍යවරුන් රෝහලේදී රෝගීන් සමග ගතකරන කාලයට අමතරව, තවත් පැය හයක් පමණ රෝහලෙන් පිටත් රෝගීන් සමග ගත කිරීමට සිදුවෙලා.

 ඔවුන්ට ඔවුන්ගේ ජීවිතය මුළුමනින්ම අහිමිවී තිබෙනවා. කියවික් ගීතයක් රසවිඳින්න නාට්‍යයක් බලන්න කාලය තියෙනවද? අද මුළු සමාජයම වියලි දරු කෝටු බවට පත්වූ මහා ආතතියකින් වෙළුණු පුරවැසියන් සහිත සමාජයක් වෙලා. 

ඒ වෙනුවට එකිනෙකා කෙරෙහි ලෙන්ගතුවූ සතුට විනෝදය තිබෙන ජීවිතයක් අපි ලබා දෙනවා. 

ඒ වගේම ජාතික සමගිය ගොඩනැගීමත් මේ පුනරුදයේ ප්‍රධාන කොටසක්. අපේ රටේ මේ දක්වා උතුරට එරෙහිව දකුණ මෙහෙයවන දේශපාලනය, ආගම්වලට එරෙහිව මෙහෙයවන දේශපාලනය ලෙස ගෙන ගිය අනෙකාට එරෙහි දේශපාලනය අවසන් කළ යුතුයි. 

සමාජයේ පැතිරී තිබෙන ජාතිවාදය සහ ආගම්වාදය අවසන් කර, ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගීම වෙනුවෙන් ජාතික පුනරුදයක් අපට අවශ්‍යයි. 

ලෝකයේ හුදකලාවූ රාජ්‍යයක් නොවී ලෝකය සමග අත්වැල් බැඳගත් ගෞරවණීය රාජතාන්ත්‍රිකභාවයත් ගොඩනඟන ජාත්‍යන්තර සම්බන්ධතා සහිත පාලනයේ පුනරුදයක් අපේ පාලනයකදී ඇති කරනවා.

සංකීර්ණ බල උවමනාවන් සහ සබඳතා නිසි පරිදි අධ්‍යයනය කර විදෙස් ප්‍රතිපත්තියේ නව පුනරුද යුගයක් ඇති කරනවා. 

ඒ වගේම විද්‍යාව හා තාක්ෂණයේ නව ජයග්‍රහණයන් අතිපත් කර ගනිමින් මේ විනාශකාරී යුගයේ සිට නව ජයග්‍රහණ අත්කර ගැනීමේ ප්‍රබෝධයන් සමග අප දේශපාලනය කරනවා. 

කෙතරම් දුෂ්කරතා තිබුණත් ප්‍රබෝධයකින් යුත් ජනතාවක් සිටින්නේ ජාතික ජන බලවේගයත් සමග අත්වැල් බැඳගත් අය පමණයි. 

මොකද යහපත් සමාජයක් ඇති කිරීමේ විශ්වාසය සහ උවමනාවන් සහිත නිසා ඔවුන්ගේ සිත්තුල විශ්වාසයක් ප්‍රබෝදයක් තිබෙනවා. 

ඒ තත්වය මුළු රටේම ජනතාවට අත්කර දීම වෙනුවෙන් සියලු දෙනාම අත්වැල් බැඳ ගනිමු."