Thursday, April 3, 2025

General line - 0115112241

දෛනික ජල කප්පාදු නිසා පානදුරේ පිරිසක් පීඩාවට



පානදුර, පරත්ත, රිවිදෙව්ගම ප්‍රදේශයේ ජනතාව පානීය ජල ගැටලුවක් හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා.

ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලයේ ජල සැපයුම වසර 07කට අධික කාලයක සිට තමන් ලබා ගත්ත ද දහවල් කාලයේ ප්‍රදේශයට ජලය නොලැබෙන බවයි ප්‍රදේශවාසීන් චෝදනා කළේ.

එලෙස ජල සැපයුම අඛණ්ඩව නොලැබීම හේතුවෙන් ජලය රැස්කරන ගෙන භාවිත කිරීමට සිදුව ඇති බව ගොරකාන, සිසුවිරු විද්‍යාලයේ විදුහල්පති, පරත්ත, රිවිදෙව්ගම බෝධිරාජ විහාරයේ විහාරාධිපති පූජ්‍ය කිරින්දේ පවරසෝම හිමියන් නෙත් නිවුස් වෙත කියා සිටියා.


පානදුර, පරත්ත, රිවිදෙව්ගම ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන මෙම ගැටළුව සම්බනධයෙන් නෙත් නිවුස් ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලයෙන් විමසීමක් කළා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි බටහිර - දකුණ පී එන් හේරත් පැවසුවේ ජල පාරිභෝගිකයන් ප්‍රමාණය ඉහළ යාම හමුවේ නිකුත් කෙරෙන ජල ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

එම ප්‍රදේශය ආශ්‍රිතව අඛණ්ඩව ජලය ලබාදීමට නම් කළු ගඟ ආශ්‍රිත ජල ව්‍යාපෘතිය ආරම්භ කළ යුතු වනවා.

ජපන් ආධාර යටතේ 2017 වසරේ ආරම්භ කළ එම ව්‍යාපෘතිය අතරමඟ නතර වී ඇති බවයි නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුනේ.