Saturday, April 5, 2025

General line - 0115112241

ක්ලබ් වසන්ත ඝාතනය සැලසුම්කරුවන් ඩුබායි සිට සජීවීව නරඹා ඇති බවට තොරතුරු



අතුරුගිරිය ප්‍රදේශයේ ටැටු මෝස්තර නිර්මාණ ආයතනය තුළ කෝටිපති ව්‍යාපාරිකයකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත  ඝාතනය කරන ආකාරය එදින පාතාල කණ්ඩායම් කිහිපයක් විදෙස් රටවල සිට සජීවීව නරඹා ඇති බවට තොරතුරු වාර්තා වනවා.

වෙඩික්කරුවන් එම ස්ථානයට පැමිණි අවස්ථාවේ සිටම ක්ලබ් වසන්තට වෙඩි තබන ආකාරය මෙම ඝාතන සැලැස්ම දියත් කළ ප්‍රධාන සැකකරු බවට සැක කරන ඩුබායිවල සැඟවී සිටින ලතුවා හන්දි සංජීව පුෂ්ප කුමාර හෙවත් ලොකු පැටි ඔහුගේ ජංගම දුරකථනය ඔස්සේ සජීවීව නරඹා ඇතැයි වාර්තා වන්නේ.

එමෙන්ම එම කොන්ත්‍රාත්තුව ලොකු පැටි නමැත්තාට භාර දුන් බවට සැක කෙරෙන ප්‍රංශයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපාණී ඉම්රාන් ද ක්ලබ් වසන්ත වෙඩි තබා ඝාතනය කරන ආකාරය මුල සිටම සජීවීව නරඹා ඇති බවටත් වාර්තා පළ වනවා.

මෙම ඝාතන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට දින කිහිපයකට පෙර ටැටු මෝස්තර ආයතනයේ සවිකර ඇති සීසීටීවී කැමරා පද්ධතියේ දත්ත ලොකු පැටී නැමැත්තාගේ ජංගම දුරකථනයට සම්බන්ධ කර ගනිමින් අදාළ සිද්ධිය නරඹා ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වුණේ.

මේ අතර ක්ලබ් වසන්තගේ දේහය බොරැල්ල පිහිටි මල් ශාලාවකින් ඉවත් කර ගන්නා ලෙස විදෙස් රටක සිට පුද්ගලයෙකු දුරකථන ඇමතුමක් ලබාදී තර්ජනය කර ඇති බවටද පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.

මේ අතර කෝටිපති ව්‍යාපාරිකයෙකු ලෙස හැඳින්වූ ක්ලබ් වසන්තගේ බොහෝ ව්‍යාපාර මෑත කාලය වන විට බංකොලොත් වී ඇති බවටද තොරතුරු වාර්තා වී තිබෙනවා.

ඒ අනුව ක්ලබ් වසන්ත තමන්ට අයත් හෝටල් කිහිපයක් විකුණා දමා ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

එමෙන්ම ඔහු සතුව තිබූ වටිනා ඔරලෝසු සහ රන් ආභරණද උකස් තබා ඇති බවද වාර්තා වනවා.

අවසන් කාලසීමාවේදී ඔහුගේ ව්‍යාපාර අතරින් ලාභදායී මට්ටමක පැවතී ඇත්තේ රූපලාවන්‍ය ව්‍යාපාරයක් පමණක් බවද විමර්ශකයින් අනාවරණ කරගෙන තිබෙනවා.

සම පැහැපත් වීම සඳහා නිපදවන ලද එම රූපලාවන්‍ය නිෂ්පාදනයක් රුපියල් 28,000කට පමණ අලෙවි කර ඇති බවටයි වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ.