Saturday, April 26, 2025

General line - 0115112241

දශක ගණනාවක් පැරණි ඉන්දු පකිස්තාන ගිවිසුමක් බිඳ වැටේ



ඉන්දීය පුරවැසියන් 25 දෙනෙකු සහ එක් නේපාල ජාතිකයෙකු ඇතුළු 26 දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබූ ජම්මු සහ කාශ්මීරයේ පහළල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව පාකිස්තානයට එරෙහිව පෙර නොවූ විරූ රාජ්‍යතාන්ත්‍රික හා ආරක්ෂක පියවර මාලාවක් ප්‍රකාශයට පත් කර තිබේ.

අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් යුත් ආරක්‍ෂක අමාත්‍ය මණ්ඩල කමිටුව බදාදා සවස හදිසි රැස්වීමක් කැඳවා දේශසීමා ත්‍රස්තවාදයට අඛණ්ඩව හවුල් වීමට විරෝධය පළ කරමින් පකිස්තානය වෙත පැහැදිලි පණිවිඩයක් යොමු කර තිබේ.

ඒ අනුව දශක ගණනාවක් පැරණි ජලය බෙදාගැනීමේ සහයෝගීතාවය වන, ඉන්දු ගංගා පද්ධතිය රටවල් දෙක අතර බෙදා ගැනීම පාලනය කරන ලෝක බැංකුව විසින් මැදිහත් වූ මූලික ගිවිසුමක් වන 1960 Indus Waters ගිවිසුම අත්හිටුවීමට ඉන්දියාව තීරණය කර ඇත.

බහුවිධ යුද්ධ සහ රාජ්‍ය තාන්ත්‍රික බිඳවැටීම් වලින් බේරී තිබූ ගිවිසුම දැන් අක්‍රීය වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

එමෙන්ම පකිස්තානය සමග පවතින විශේෂයෙන්ම ආරක්ෂක සහ බුද්ධි අංශවල රාජ්‍යතාන්ත්‍රික කටයුතු සැලකිය යුතු ලෙස පහත හෙළීමට ඉන්දියාව පියවර ගෙන ඇත. 

නවදිල්ලියේ පකිස්ථානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක, නාවික, හමුදා සහ ගුවන් උපදේශකයින්ට රට හැර යාමට සතියක කාලයක් ලබා දී ඇත.

"මෙම පුද්ගලයින් තවදුරටත් ඉන්දියාවට පිළිගනු නොලැබේ" යනුවෙන් ඉන්දීය විදේශ අමාත්‍යංශය පවසා තිබේ.