Wednesday, March 19, 2025

General line - 0115112241

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ ඉන්දීය ධීවර යාත්‍රා තුනක් නාවික හමුදා භාරයට



මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්‍රා 03ක් සමඟ ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි.

එම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර යාත්‍රා 03 සහ එහි සිටි ඉන්දීය ධීවරයින් 14 දෙනා කන්කසන්තුරය වරාය වෙත රැගෙන ආ බවයි නාවික හමුදාව පැවසුවේ.

අත්අඩංගුවට ගත් ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතයි.

මේ අතර මෙම වර්ෂයේ මේ දක්වා සිදුකල මෙහෙයුම් මඟින් මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්‍රා 50ක් සහ ඉන්දීය ධීවරයින් 359 දෙනෙකු නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇති බවයි නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවේ.