Sunday, May 4, 2025

General line - 0115112241

කාශ්මීර් ත්‍රස්ත ප්‍රහාරකයින් පැමිණි බවට ලද තොරතුරක් නිසා කටුනායක ගුවන් තොටුපොළේ සෝදිසි මෙහෙයුමක්

ටී කේ ජී කපිල



ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අද විශේෂ පරික්ෂාවකට ලක් කෙරුණා. 

ඒ, ඉන්දු කාශ්මීරයේ පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් පිරිසක් එම ගුවන් යානයෙන් පැමිණි බවට ඉන්දීය බලධාරින් ලබාදී ඇති තොරතුරකට අනුවයි. 

චෙන්නායි නුවර සිට අද උදෑසන 11.26ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් - 122 දරන ගුවන් යානය සහ එම යානයෙන් පැමිණි මගීන් පිරිස පරීක්ෂාවට ලක් කර තිබුණා.

ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්, ගුවන් හමුදාව, පොලීසිය, යුද්ධ හමුදාව සහ බුද්ධි අංශ නිලධාරීන් ඒකාබද්ධව එම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති අතර ගුවන් තොටුපොළ පර්යන්ත ගොඩනැගිලි සහ     ඒ අවට ප්‍රදේශය ද සෝදිසි කිරීමට ලක් කර තිබෙනවා. 

කෙසේවෙතත් එහිදී කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නැහැ. 

අදාළ තොරතුර ප්‍රමාද වී ලැබී ඇති අතර ඒ වන විට යානයේ පැමිණි මගීන්ගෙන් කොටසක් ගුවන් තොටුපොළෙන් පිටව ගොස් සිටි බවයි වාර්තා වුණේ. 

කිසිදු සැකකටයුතු පුද්ගලයෙකු එම ගුවන් යානයෙන් මෙරටට පැමිණි බවට තොරතුරු වාර්තා වී නැහැ.
 

මේ අතර මෙම සිද්ධිය හේතුවෙන් සිංගප්පූරුව බලා පියාසර කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් - 308 දරණ යානය ප්‍රමාද වී ඇති බවද ශ්‍රී ලන්කන් ගුවන් සේවය පැවසුවා.