Sunday, March 9, 2025

General line - 0115112241

වසර 09ට වනඅලි 3,477ක් - මිනිස් ජීවිත 1,190ක් අහිමි වෙයි



පසුගිය වසර 9ක කාලය තුළ මෙරට වනඅලි මරණ 3,477ක් සහ මිනිස් ජීවිත 1,190ක් රටට අහිමි වී ඇතැයි පාර්ලිමේන්තුවේ දී අද අනාවරණය වුණා. 

වාර්තාවක් ඉදිරිපත් කරමින් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පැවසුවේ 2015 සිට 2019 දක්වා කාලය තුළ දී වනඅලි 1,466ක් මියගොස් ඇති බවයි. 

2020 සිට 2024 දක්වා කාලය තුළ සිදුව ඇති වනඅලි මරණ සංඛ්‍යාව 2,011ක්. අමාත්‍යවරයා පැවසුවේ 2015 - 2019 කාලයේ දී මිනිස් ජීවිත 456ක් සහ 2020 - 2024 කාලයේ දී ජීවිත 734ක් රටට අහිමි වී ඇති බවයි. 

පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

මේ අතර සහතික මිලට වී මිලදී ගැනීම සහ සහල් සඳහා පැනවූ පාලන මිල පිළිබඳවද පාර්ලිමේන්තුවේදී අද අදහස් පළ වුණා. 

මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සහ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා.

අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මෙහිදී පැවසුවේ සහතික වී මිල සමග සහල් කිලෝවක මිල රුපියල් 230ට අඩු වන බවයි. 

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ හිටපු අමාත්‍ය ප්‍රියන්ත මායාදුන්නේ යන මහත්වරුන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් ප්‍රශ්න කළා. 

මේ අතර මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් දැක්වීමත් සමග පාර්ලිමේන්තුවේදී අද උණුසුම් වාද විවාද ඇති වුණා.  

පාර්ලිමේන්තුව මේ වන විට පැවැත්වෙන අතර එහි සජීවී දර්ශන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.