Sunday, February 23, 2025

General line - 0115112241

කෝටි 36ක හෂිස් සමඟ කැනේඩියානු කාන්තාවක් කටුනායකදී අල්ලයි

ටී කේ ජී කපිල



රුපියල් කෝටි තිස් හයක් වටිනා “හෂීස්” මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශීය කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, කටුනායක ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින්. 

සැකකාරිය 36 හැවිරිදි කැනේඩියානු ජාතික කාන්තාවක් වන අතර ඇය දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින අයෙකු වන බවයි රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

පළමුවරට ශ්‍රී ලංකාවට පැමිණමෙන් සිටි එම කාන්තාව කැනඩාවේ ටොරෙන්ටෝ නුවර සිට ගමන් ආරම්භ කර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර වෙත පැමිණ තිබෙනවා. 

එතැන් සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි - 936 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරක් මත ඇය පැමිණි ගුවන් යානය වෙත ගොස් එම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා. 
 

සැකකාරිය විසින් රැගෙන ආ ගමන් මලු දෙකක් තුළ ඇද ඇතිරිළි කිහිපයක ඔතා සගවාගෙන පැමිණි කිලෝ ග්‍රෑම් 36යි ග්‍රෑම් 500ක් බරැති එම “හෂීෂ්” මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබෙනවා. 
 

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ උසස් නිලධාරීන් සැක පළ කරන්නේ, එම “හෂීෂ්” මත්ද්‍රව්‍ය තොගය වෙනත් රටකට ප්‍රතිඅපනයනය කිරීම සදහා මෙරටට රැගෙන එන්නට ඇති බවටයි. 
 

වැඩිදුර විමර්ශන කටයුතු සදහා එම මත්ද්‍රව්‍ය තොගය සහ කැනේඩියානු ජාතික කාන්තාව කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.