Sunday, February 23, 2025

General line - 0115112241

හෙට පාර්ලිමේන්තුවට එන අයවැය අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට



හෙට දිනයේ ඉදිරිපත් කිරීමට නියමිත 2025 වසරට අදාළ අයවැය අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද නිරීක්ෂණය කර තිබෙනවා. 

ඒ ජනාධිපති කාර්යාලයේදීයි. 

එම අවස්ථාවට මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ද එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

මේ අතර 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම හෙවත් අයවැය කථාව හෙට පෙරවරු 10.30ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතයි. 

ඉන් අනතුරුව විසර්ජන පනත් කෙටුම්පතට අදාළ විවාදය ලබන 18 වනදා සිට මාර්තු 21 වනදා දක්වා පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
 

පසුගිය 09 වනදා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත, දෙවැනිවර කියවීමේ විවාදය ලබන 18 වනදා සිට 25 වනදා දක්වා දින 07ක් පැවැත්වීමට නියමිත අතර ලබන 25 වනදා පස්වරු 06.00ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති.
 

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය ලබන 27 වනදා සිට මාර්තු මස 21 වනදා දක්වා සෙනසුරාදා දින 04ක් ද ඇතුළුව දින 19ක් පැවැත්වීමට නියමිතයි. 
 

ඉන් අනතුරුව විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු මස 21 වනදා පස්වරු 06.00ට පැවැත්වෙනු ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.
 

අයවැය කාලසීමාව තුළ සෑම දිනකම පෙරවරු 09.30 සිට පස්වරු 10.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 05ක් සඳහා වෙන් කර ඇති අතර පෙරවරු 10.00 සිට පස්වරු 06.00 දක්වා කාල සීමාව අයවැය විවාදය සඳහා වෙන් කර තිබෙනවා.