ඉකුත් දා දිවයින පුරා සිදුවූ විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව ලංකා විදුලිබල මණ්ඩලය විසින් අද ප්‍රකාශයට පත් කළා. එහි ක්ෂණික හා දිගු කාලීන ක්‍රියාමාර්ග ලෙස විදුලි පද්ධතිය ස්ථාවර කිරීමට අදාළ යෝජනාද ඇතුළත්.
ඉකුත් පෙබරවාරි 9 වනදා පෙරවරු 11යි 13 ට රට පුරා විදුලිය බිඳවැටුණා.
ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ පානදුර ග්‍රිඩ් උපපොළේ ඇති වූ කැළඹීමක් හේතුවෙන් පද්ධතිය පුරා ඇති වූ දෝෂයක් බවයි.
සිද්ධිය වන විට ජාතික විදුලි ඉල්ලුමෙන් සියයට 50කට වඩා වැඩි ප්‍රමාණයක් සපුරා ඇත්තේ නොරොච්චෝලේ ලක්විජය බලාගාරයෙන්.
ඒ අනුව පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාවය සහ ජාලය අස්ථාවර වීම හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරය ක්‍රියා විරහිත වූ බවයි ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ.
මීට අමතරව මෙම වාර්තා මගින් හදිසි පියවර ක්‍රියාත්මක කිරීම, අස්ථාවර අවදානම් අවම කිරීම, මධ්‍ය කාලීන උපාය මාර්ග, දිගු කාලීන ජාලක ස්ථායීතා විසඳුම් යන කාණ්ඩ යටතේ විවිධ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.
මේ අතර රට පුරා විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද අදහස් පළ වුණා.
මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා.