ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට කොළඹ මහාධිකරණය හමුවේ අද අධි චෝදනා පත්‍ර භාරදීම සිදු කෙරුණා.
නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ මෙම අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ අද භාරදීම සිදුවූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ඉන් අනතුරුව විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස විනිසුරුවරයා නියෝග කළා.
ඊට අමතරව විත්තිකාර නාමල් රාජපක්ෂ මහතාගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසත් විනිසුරුවරයා නියෝග කර තිබෙනවා. ඉන් අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නඩුව මාර්තු මස 27 වනදා කැඳවන ලෙසටයි නියෝග කර ඇත්තේ.
මෙහිදී නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා ඇත්තේ මෙම නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් පුද්ගලයින් 21 දෙනෙකු නම් කර තිබෙන බවයි.
ඒ අතුරින් සාක්ෂිකරුවන් පස් දෙනෙකුම රිමාන්ඩ් භාරයේ පසුවන හෝ ඇප මත මුදා හැර සිටින හෝ දඬුවම් විඳින පුද්ගලයින් බවත් ජනාධිපති නීතිඥවරයා මෙහිදී අධිකරණයේ අවධානය යොමු කර සිටියා.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙහිදී සඳහන් කළේ තමන් පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයෙන් අනතුරුව සාක්ෂි කැඳවීමට අපේක්ෂා කරන බවයි.
රග්බි ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට බව සඳහන් කරමින් ඉන්දියාවේ ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන හැත්තෑවක මුදලක් ලබාගෙන සාපරාදී සාවද්‍ය පරිහරණය සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තුව මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.
මෙම නඩුවට අදාළව ඉකුත් යහපාලන රජය සමයේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා එම වකවානුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබුණා.