Saturday, February 22, 2025

General line - 0115112241

දෙදෙනෙකු මැරූ මිද්දෙණිය වෙඩිතැබීම ගැන හොයන්න පොලිස් කණ්ඩායම් 05ක්



මිද්දෙණිය කඩේවත්ත හන්දිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදුවූ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලීසියේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ පොලිස් කණ්ඩායම් 05ක් දැනටමත් විමර්ශන සඳහා පත් කර ඇති බවයි.

කෙසේවෙතත් ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

වෙඩිතැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි.

ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම වෙඩිතැබීමෙන් අවුරුදු 06ක දැරියක් හා වයස අවුරුදු 39ක පුද්ගලයෙකු මිය ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඔවුන් පියා සහ දියණිය බවද මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ පුත්‍රයා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කෙරුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි එම පිරිස ඉලක්ක කර වෙඩි තැබීම සිදුව තිබුණා.

වෙඩිතැබීමෙන් යතුරුපැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. 

දියණිය මියගොස් ඇත්තේ තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි.

සිද්ධියෙන් තුවාල ලැබූ දියණියගේ සහෝදරයා බරපතල තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඔහුට ශල්‍යකර්මයක්ද සිදු කර තිබෙනවා.