Saturday, February 22, 2025

General line - 0115112241

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා යාපනය දිස්ත්‍රික්කයේ රෝහල්වල විශේෂ නිරීක්ෂණයක



යාපනය දිස්ත්‍රික්කයේ ජීවත්වන ජනතාවට ගුණාත්මක, කාර්යක්ෂම රෝගී සත්කාර සේවාවක් ලබා දීම අරමුණු කර ගනිමින් යාපනය දිස්ත්‍රික්කය තුල පිහිටි රජයේ රෝහල් වල පවතින මානව සහ භෞතික සම්පත් සංවර්ධනය කිරීමේ අරමුණින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පසුගිය දා  යාපනය දිස්ත්‍රික්කයේ රෝහල් කිහිපයක විශේෂ නිරීක්ෂණයක නිරත වි තිබෙනවා 

වත්මන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සංකල්පයක් මත සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙරට  රජයේ රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව හා ඉහළ පහසුකම් වලින් සමන්විත රෝගී සත්කාර සේවා සමගින් පවත්වා ගෙන යාම මුලික අරමුණ කරගෙන දිස්ත්‍රික් මට්ටමින් එම  රෝහල් වල පවතින අඩුපාඩු සොයා බලා එ්වාට කඩිනම් විසදුම් ලබා දෙමින්  ග්‍රාමීය ජනතාවට ගුණාත්මක, විධිමත් සුව සත්කාර සේවාවක් ලබා දීමට ආරම්භ කර ඇති  විශේෂ වැඩපිළිවෙළට සමගාමීව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා  ප්‍රමුඛ අමාත්‍යංශ නිලධාරීන් මෙම විශේෂ නිරීක්ෂණ චාරිකාව සිදු කරන ලදී.

මෙම විශේෂ නිරීක්ෂණ චාරිකාවේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් කයිට්ස් මුළික රෝහල, වෙලනයි ප්‍රාදේශීය රෝහල, වෙලනයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, කයිට්ස් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, යාපනය ශික්ෂණ රෝහල, චාවකච්චේරි මුලික රෝහල, මාන්කුලම් මුලික රෝහල යන රෝහල් වල පවතින මානව හා භෞතික සම්පත් වල අඩුපාඩු සොයා බලා එම ගැටලු වලට කෙටිකාලීන, මධ්‍ය කාළීන සහ දීර්ඝ කාළින විසදුම් ලබා දීමට ද  දීමටද පියවර ගත්තේය. එමෙන්ම යාපනය ශික්ෂණ රෝහල ප්‍රතිසංස්කරණය කරල ලද වාට්ටු දෙකක් ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් ප්‍රතිකාර සේවාවන් සඳහා එක් කිරීමට පියවර ගත්අතර යාපනය දිස්ත්‍රික්කයේ සියළුම වෛද්‍ය පරිපාලකයින් සමග විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ද  පැවැත්වීමට ද ඒ මහතා පියවර ගත්තේය.‍

එහි දී යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවට බලපාන  බෝවන රෝග හා බෝ නොවන රෝග පාලනය, දරුවන්ගේ සහ මව්වරුන්ගේ වත්මන් පෝෂණ තත්ත්වය සහ ඉදිරි පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, රෝහල් වල වත්මන් ඖෂධ තත්ත්වය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලට ත්‍රීපෝෂ ලැබීම, ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ප්‍රවාහන ගැටළු සහ සිය රාජකාරිය සිදුකිරීමේදී කාර්ය මණ්ඩලයට පවතින ප්‍රායෝගික ගැටළු පිළිබදව  දිස්ත්‍රික්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්,  රෝහල් අධ්‍යක්ෂවරුන් , වෛද්‍ය අධිකාරීවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් , වෛද්‍යවරුන්  සමග දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලද අතර එහිදී මතු වූ  සමහර ගැටළු වලට එම අවස්ථාවේදීම විසදුම් ලබා දීමට ඒ මහතා පියවර ගත් අතර එම අවස්ථාවේදී විසදුම් ලබා දිය නොහැකි ගැටළු වලට  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ද දැනුවත් කර කඩිනම් විසදුම් ලබා දෙන බව  පැවසී ය.

යාපනය දිස්ත්‍රික්කයේ රෝහල් වල පවතින සෞඛ්‍ය වෘත්තිකයන්ගේ හිගයට පිළියම් ලෙස දැනට පුහුණු වීම් වල නිරත සහ ඉදිරියේදී බඳවා ගැනීමට සෞඛ්‍ය කණ්ඩායම් වලින් සැළකිවයුතු ප්‍රමාණයක් මෙම රෝහල් හා සෞඛ්‍ය ආයතන සඳහා අනුයුක්ත කිරීමට පියවර ගන්නා බව  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිඳුරටත් පැවසී ය.

නව රජය මෙවර අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කර තිබෙන බව සිහිපත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එම මුදල් නිසි කළමණාකරණයෙන් යුතුව පරිහරණය කර මෙරට ජීවත්වන සියළුම ජනතාවට උපරිම,කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබා දීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරමුණ බව ද  මෙහිදී තවඳුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ ය.

මෙම නිරීක්ෂණ චාරිකාවන් සහ ප්‍රගති සමාලෝචන රැස්වීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ  විශේෂඥ වෛද්‍ය දේඳුණු ඩයස්, උතුරු පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ යන මහත්වරුන් ද, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ,රෝහල් අධ්‍යක්ෂවරුන්,වෛද්‍ය අධිකාරීවරුන් මෙන් ම විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයින් පිරිසක් ද සහභාගී වුහ.