Saturday, March 1, 2025

General line - 0115112241

පැහැරගත් ලොරි රථයක් කඩුවෙල ප්‍රදේශයේදි සැකකරුවෙකු සමග අත්අඩංගුවට

නිරෝෂන්



මහබාගේ ප්‍රදේශයේදී අද අලුයම පැහැරගත් ලොරි රථයක් කඩුවෙල ප්‍රදේශයේදි සැකකරුවෙකු සමග පොලීසිය  විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

නොරොච්චෝලේ සිට වත්තල දක්වා එළවළු ප්‍රවාහනය කරමින් තිබූ එම ලොරි රථය රියදුරු විසින් තේ පානය කිරීම සඳහා වත්තල ප්‍රදේශයේ ආපන ශාලාවක් අසල නතර කර ඇති බවයි පොලීසිය පැවසුවේ. 

එම රියදුරු අදාළ ආපන ශාලාව තුළට ගිය අවස්ථාවේ පුද්ගලයෙකු පැමිණ ලොරි රථය පැහැරගෙන ගොස් තිබෙනවා. 

ඉන් අනතුරුව ආපන ශාලාවේ සිටි රියදුරු  ත්‍රීරෝද රථයකින් ලොරි රථය පිටුපස හඹා ගියද එම උත්සහය ව්‍යර්ථ වී ඇති බවයි පොලීසිය පැවසුවේ. 

පසුව රියදුරු විසින් ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර තිබෙනවා. 

ලොරි රථයේ සවි කර තිබූ ජී පී එස් තාක්‍ෂණය හරහා ලොරි රථය වැල්ලම්පිටියේ සිට කඩුවෙල දෙසට ධාවනය වන බවට අනාවරණ වූ බවයි පොලීසිය පැවසුවේ.

ඒ අනුව වැල්ලම්පිටිය ප්‍රදේශයේදී ලොරි රථය නැවැත්වීමට පොලිසිය විසින් උත්සහ කළද එය ව්‍යර්ථ වී තිබෙනවා. 

පසුව එම ලොරි රථය කඩුවෙල ප්‍රදේශයට ධාවනය වෙමින් තිබියදී එය නතර කරන ලෙසට රියදුරුට දැනුම් දුන් බවයි පොලීසිය පැවසුවේ. 

කෙසේවෙතත් අණ නොතකා ධාවනය වූ එම ලොරි රථයට පොලිසිය විසින් වෙඩි තබා සැකකරු ජීව අත් බෝම්බයක්ද සමගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

ඔහු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.