ඉන්ධන බෙදාදීමේදී මතු වූ ගැටළුව ප්‍රකාශ කරන තරම් සරල ගැටලුවක් නොවන බව හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඒ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.
හිටපු අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ වෙනත් රටවල අනුගමනය කරන ආකාරයට ඉන්ධන මිල දෛනිකව වෙනස් වන ක්‍රමවේදයක් ශ්‍රී ලංකාව තුළද නිර්මාණය කළ යුතු බවයි.
ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් ඉකුත් දා ගැටලුකාරී තත්ත්වයක් මතු වුණා.
ඒ, ඉන්ධන පිරවුම්හල් හිමියන්ට ලබාදුන් සියයට තුනක වට්ටම අඩු කිරීමට ඉන්ධන බෙදුම්කරුවන් විරෝධය පළ කිරීමත් සමගයි.
මෙම ගැටළුව මුල්කර ගනිමින් ඉකුත් දා දින දෙකක් ඉන්ධන ඇණවුම් කිරීම ඛනිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමය විසින් නතර කර තිබුණා.
කෙසේවෙතත් එය ඉකුත් සඳුදා රාත්‍රියේ සිට සාමාන්‍ය පරිදි ආරම්භ වුණා.
තෙල් බෙදුම්කරුවන් විසින් රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අඩපණ කිරීමේ උත්සහයක නියැලුණු බව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී තිබූ අතර ඒ පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ නිලධාරීන් දෙදෙනෙකු ද ඉකුත් දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට පියවර ගෙන තිබුණා.