Wednesday, March 12, 2025

General line - 0115112241

දේශපාලන ස්ථාවරත්වය සහ ආර්ථික ස්ථාවරත්වය සම්බන්ධයෙන් සංඥාවක් ලැබී ඇතැයි ජනාධිපති කියයි



රටේ දේශපාලන ස්ථාවරත්වය සහ ආර්ථික ස්ථාවරත්වය සම්බන්ධයෙන් සංඥාවක් ලැබී ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ, ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති උත්සවයක් අමතමින්.

ජනාධිපතිවරයා එහිදී පැවසුවේ අපේක්ෂිත කාලයට වඩා ඉක්මනින් රට ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීම වත්මන් රජයේ අරමුණ බවයි. 

මේ අතර ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් ද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා ඇත්තේ සංවර්ධනයේ පූර්ණ ප්‍රතිලාභ සාධාරණව භුක්ති විඳින සමෘද්ධිමත් සමාජයක් ගොඩනැඟීම වත්මන් රජයේ අපේක්ෂාව බවයි.

පුරවැසියන්ගේ ආර්ථික, සමාජීය හා සංස්කෘතික සුරක්ෂාව වෙනුවෙන් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සමඟ එක්ව කටයුතු කිරිම එහිදී සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.

ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමට අවශ්‍ය පිරිස් වෙත ණය මුදල් ලබාදීම පිළිබඳව ද  එහිදී අවධානයට යොමු කර ඇති අතර ඒ සඳහා සමෘද්ධි අරමුදලෙන් රුපියල් බිලියන 55ක් වෙන් කිරිමට ද යෝජනා කර තිබෙනවා. 

ජාතික ප්‍රමුඛතා හා අවශ්‍යතා හඳුනා ගනිමින්, ජාත්‍යන්තර ප්‍රමිතිද සැලකිල්ලට ගනිමින් කාන්තාවන්, ළමුන්, අවදානමට ලක්විය හැකි හා වරප්‍රසාද නොලබන පුද්ගලයන්ගේ සමාජ ආරක්ෂණය හා ආර්ථික සවිබල ගැන්වීම සඳහා අවශ්‍ය නෛතික හා ආයතනික පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව ද එහිදී  අවධානය යොමු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේ.