Sunday, March 16, 2025

General line - 0115112241

පුංචි ඡන්දයට තරග කරන අපේක්ෂකයන්ට නිරීක්ෂණ සංවිධානයකින් කල්තියාම උපදෙස්



මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන ස්වාධීන කණ්ඩායම් ගණන ඉහළ යන බවක් පෙන්නුම් කරන බව පැෆ්රල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ මීට පෙර ප්‍රධාන දේශපාලන පක්ෂවලින් තරග කළ ඇතැම් පිරිස් විවිධ හේතූන් මත ස්වාධීන කණ්ඩායම්වලින් තරග කිරීමට පෙළඹී ඇති බවයි. 


පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් ද මැතිවරණයෙන් අනතුරුව ඊට අදාළ ආදායම් වියදම් වාර්තා ලබාදිය යුතු වනවා.

එලෙස කටයුතු නොකරන අපේක්ෂකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු ඇති බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ.


මේ අතර පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම හෙට සිට සිදුවනවා.

ඒ අනුව ලබන 20 වන දින මධ්‍යහන 12.00 දක්වා නාම යෝජනා භාර ගැනීම සිදු කෙරෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

ඡන්ද විමසීම සඳහා ඇප මුදල් තැන්පත් භාර ගැනීම ලබන 19 වනදා මධ්‍යහන 12.00 දක්වා සිදු කෙරෙනවා. 

ලබන 20 වනදා නාම යෝජනා භාර ගැනීමෙන් අනතුරුව එදිනම පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවා.


පළාත් පාලන ආයතන 336ක ඡන්ද විමසීම සඳහා එලෙස නාම යෝජනා භාර ගැනීමට නියමිතයි. මහනගර සභා 28ක් නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 272ක් ඒ අතරට අයත්.