Tuesday, March 18, 2025

General line - 0115112241

දේශබන්දු ඉදිරිපත් කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි



2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි ඩබ්ලිව් 15 හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී තිබෙන නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා  පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය විසින් අද නිෂ්ප්‍රභ කළා.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි විනිසුරු මඩුල්ල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේ. 

දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් ඉකුත් 12 වනදා අභියාචනාධිකරණය හමුවේ සලකා බැලු‍ණා.

එහි තීන්දුව අද පෙරවරුවේ ප්‍රකාශයට පත් කළ  අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ අදාළ පෙත්සම විභාගයට ගැනීමකින් තොරව නිශ්ප්‍රභ කරන බවයි.

මේ අතර දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමට අදාළව තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර ඒ මහතාගේ නීතිඥවරුන් විසින් අභියාචනාධිකරණයට අද මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා.

එම මෝසම මගින් දන්වා ඇත්තේ මෙම නඩුකරයට අදාළ තවත් ලේඛන කිහිපයක් ඉදිරිපත් කිරීමට අවසර ලබා දෙන ලෙසයි.