Tuesday, March 18, 2025

General line - 0115112241

ගණේමුල්ල සංජීව ඝාතනයට අත්අඩංගුවට ගත් ජේලර්වරයෙකු 21 වනදා දක්වා රිමාන්ඩ්

උදය කුමාර



ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බූස්ස බන්ධනාගාරයේ ජේලර්වරයෙකු ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.

ඒ, කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් සිද්ධිය වූ දින සැකකාර ගණේමුල්ල සංජීව නමැත්තා මෙම සැකකාර ජේලර්වරයා විසින් අධිකරණයට රැගෙන විත් තිබෙන බව සඳහන් කළා.

ඔහු සිය රාජකාරිය පැහැර හැරීම නිසා මෙම අපරාධය සිදු වූයේ දැයි සොයා බැලීම සඳහා විමර්ශන සිදු කරන බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

එමෙන්ම වෙඩි තබා පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙම සැකකාර බන්ධනාගාර නිලධාරියා විසින් කිසිදු පියවරක් ගෙන නොමැති බව විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් පොලිසිය පැවසුවා. 

සැකකරුගේ ජංගම දුරකථන ඇමතුම් පිළිබඳ වාර්තාවක් කැදවීමට අවසර දෙන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම්වලට අවසර දුන් අධිකරණය අදාළ සැකකරු ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස එහිදී නියෝග කළා.