Thursday, March 20, 2025

General line - 0115112241

අදානි යළි ගන්නවාද? - තීරණයක් නැතැයි ආණ්ඩුව කියයි



ඉන්දියාවේ අදානි සමාගම විසින් නතර කර දැමූ සුළං විදුලිබල ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු නිල තීරණයක් ගෙන නොමැති බව බලශක්ති අමාත්‍යංශය පවසනවා.

එහි ලේකම් උදයංග හේමපාල මහතා සඳහන් කළේ සුළං විදුලිබලාගාර ව්‍යාපෘති සම්බන්ධයෙන් විවිධ පාර්ශව සමග මේ වන විටත් සාකච්ඡා පවත්වමින් ඇති බවයි.

එහෙත් එම කිසිදු පාර්ශවයක් සමග අවසන් එකඟතාවකට පැමිණ නොමැති බව බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා නෙත් නිවුස් වෙත තහවුරු කළා. 

ඔහු මෙම අදහස් පළ කළේ නතර කර දැමූ සුළං විදුලිබල ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම පිළිබඳ අදානි සමාගමේ අවධානය යොමුව ඇති බවට ඉන්දීය මාධ්‍ය කර තිබූ වාර්තා සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.

බලශක්ති අමාත්‍යංශයේ ලේකම් උදයංග හේමපාල මහතා පැවසුවේ යළි මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අදානි සමාගම සූදානම් බවට නිල දැනුම්දීමක් ලැබී නොමැති බවයි.

එහෙත් ව්‍යාපෘතියේ මිල ගණන් පිළිබඳ සාකච්ඡා කිරීමට අදානි සමාගම කැමැත්තෙන් පසුවන බවට ලිඛිතව දැනුම් දී ඇති බවයි ලේකම්වරයා පැවසුවේ.

කෙසේවෙතත් ඉදිරි දිනවලදී සුළං විදුලි ව්‍යාපෘති ආරම්භ කරන්නේ කුමන පාර්ශව සමග දැයි ආණ්ඩුව ලෙස නිල ප්‍රකාශයක් සිදු කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා. 

අමෙරිකානු ඩොලර් බිලියන 1ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට ඉන්දියාවේ අදානි සමූහය උනන්දුවෙන් පසුවන බවට එරට මාධ්‍ය වාර්තා කර තිබුණා.

මේ අතර ඉන්දියාවේ අදානි සමාගම යළිත්වරක් සිදු කර ඇති බව කියන මිල අඩුකිරීම් පිළිබඳ ග්‍රීන් පවර් ඇන්ඩ් එනර්ජි ලංකා සමාගමේ කළමනාකරණ අධ්‍යක්‍ෂ රවී කරුණාරත්න මහතා නෙත් එෆ් එම් සමග එක්ව මෙලෙස අදහස් පළ කළා.

ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා ද පැවසුවේ මෙරට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් නිසි ලෙස තවමත් ප්‍රයෝජනයක් නොගන්නා බවයි.

ඉන්දියාවේ අදානි සමාගම සූදානම් වූයේ මන්නාරම සහ පූනරින් හි මෙගාවොට් 484 ක පුනර්ජනනීය බලශක්ති සුළං බලාගාර ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහායි.