Friday, March 21, 2025

General line - 0115112241

 මාතලේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර 14ක් ප්‍රතික්ෂේප වෙයි

මහේෂ් කීර්තිරත්න



2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මාතලේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර 14ක් ප්‍රතික්ෂේප වී තිබෙනවා.

මාතලේ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී තේජානි තිලකරත්න මහත්මිය පැවසුවේ පිළිගත් දේශපාලන පක්ෂ කිහිපයක සහ ස්වාධීන කණ්ඩායම් 5ක නාම යෝජනා පත්‍ර එලෙස ප්‍රතික්ෂේප වූ බවයි.

මාතලේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 13ක් සඳහා පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් නාම යෝජනා පත්‍ර 95ක් ලැබී තිබුණු බවද දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිනිය සඳහන් කළා.

එම නාමයෝජනා ඉදිරිපත් කර තිබුණේ පිළිගත් දේශපාලන පක්ෂ 18ක් සහ ස්වාධීන කණ්ඩායම් 08කින්.

ගලේවෙල ප්‍රාදේශීය සභාව සඳහා ස්වාධීන කණ්ඩායමකින් ඉදිරිපත් වූ ජෝර්ජියානු කාන්තාවක් වන මායියා ඩොනඩ්සේගේ නාම යෝජනා පත්‍රයද දෝෂ සහිත වූ නිසා ප්‍රතික්ෂේප වූ බවයි මාතලේ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිනිය වැඩිදුරටත් සඳහන් කළේ.