Friday, March 21, 2025

General line - 0115112241

පාසල් ක්‍රිකට් තරඟයක් වළක්වාලමින් අධිකරණ නියෝගයක්

උදය කුමාර



ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ කොළඹ මහනාම සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාල අතර පැවැත්වීමට නියමිත අර්ධ අවසන් පූර්ව තරගය පැවැත්වීමකින් තොරව අනෙකුත් අර්ධ අවසන් පූර්ව තරග සහ අවසන් තරගය පැවැත්වීම වළක්වාලමින් බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය අද එම සංගමයට නියෝගයක් නිකුත් කළා.

එම වාරණ නියෝගය ලබන 27 වනදා දක්වා බලපැවැත්වෙන බවයි එම නියෝගයේ සඳහන් වුණේ. 

කොළඹ මහනාම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ඩබ්ලිව්.ඒ.එච්.එස්. බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

මෙම පෙත්සම සලකා බැලුනේ නාමල් බණ්ඩාර බළල්ලේ සහ ෆ්‍රෑන්ක් ගුණවර්ධන යන සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි. 

පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ චාමර නානායක්කාරවසම් මහතා සමග පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම තරගාවලියේදී ඉකුත් දා මහානාම සහ ත්‍රිත්ව විද්‍යාලය අතර පැවති තරගයේදී සිදුවූ අවිධිමත් ක්‍රියා සම්බන්ධයෙන් තම සේවා දායකයා ඉදිරිපත් කළ පැමිණිල්ලට අනුව විමර්ශනයක් සිදු කෙරුණු අතර එම විමර්ශනය යුක්ති සහගතව සිදු නොවූ බව චෝදනා කළා.

ඊට අදාළව අපක්ෂපාති විමර්ශනයක් සිදු නොවීම හේතුවෙන් තම සේවා දායකයාට දැඩි අසාධාරණයක් සිදුවූ බවයි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ.

ඒ අනුව කොළඹ මහානම විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර අවසන් පූර්ව තරගය පැවැත්වීමකින් තොරව කොළඹ රාජකීය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාල අතර අර්ධ අවසන් පූර්ව තරගය පැවැත්වීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා අනතුරුව මෙම වාරණ නියෝගය නිකුත් කළා.