Saturday, March 22, 2025

General line - 0115112241

දකුණු කොරියාවෙන් හා තුර්කියෙන්  බිත්තර ආනයනය කිරීමට ඇමෙරිකාවෙන් පියවර 



බිත්තර මිල ගණන් ඉහළ යාම පාලනය කිරීම සඳහා බිත්තර ආනයනය කිරීමට ඇමෙරිකාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව දකුණු කොරියාවෙන් හා තුර්කියෙන් බිත්තර ආනයනයට මෙලෙස පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 
 
ඇමෙරිකා කෘෂිකර්ම ලේකම් බෲක් රෝලින්ස් ප්‍රකාශ කර සිටියේ පාරිභෝගිකයන්ට සහන සැලසීමේ අරමුණින් වැඩිවන බිත්තර මිල පාලනය කිරීමට හා රට තුළ බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුව ඇති බවයි.

මේ අතර බිත්තර සැපයීම සඳහා ඇමරිකානු රජය පසුගිය මාස දෙක තුළ ෆින්ලන්තය, ඩෙන්මාර්කය, ස්වීඩනය සහ නෙදර්ලන්තය වැනි යුරෝපීය රටවල් කිහිපයක් සමඟ සාකච්ඡා කිරීමට උත්සාහ කර තිබෙනවා.

ෆින්ලන්ත ජාතිකයන් දැනටමත් එක්සත් ජනපදයට බිත්තර අපනයනය කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා කුකුළු ගොවිපොළ තත්ත්වයන් ඉහළ නැංවීමට හා උපදේශන සේවා නොමිලේ ලබාදීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගෙන තිබෙනවා.

වසර ගණනාවක් පුරා කුකුලන් අතර කුරුළු උණ පැතිර යාම මෙලෙස බිත්තර නිෂ්පාදනය පහළ වැටීමට බලපා ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය වසර තුළ බිත්තරවල මිල 65% කට වඩා වැඩි වී ඇති අතර, 2025 දී එය 41% කින් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා 

පෙබරවාරි මාසයේදී, එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බිත්තර මිල පාලනය කිරීම සඳහා ජෛව ආරක්ෂණ පියවර සඳහා ඩොලර් මිලියන 500 ක්, එන්නත් පර්යේෂණ හා සංවර්ධනය සඳහා ඩොලර් මිලියන 100 ක් සහ ගොවීන්ගේ මූල්‍ය සහන වැඩසටහන් සඳහා ඩොලර් මිලියන 400 ක් අයවැයෙන් වෙන් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.