Monday, March 31, 2025

General line - 0115112241

මියන්මාරයේ භූ කම්පනයෙන් තායිලන්ත අගනුවරත් සෙළවෙයි - ජීවිත සහ දේපළ හානි රැසක්



මියන්මාරයේ අද ඇතිවූ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් එරට කලාප 06ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ගලවා ගැනීමේ කණ්ඩායම් පවසන්නේ සිදුව ඇති හානිය අති විශාල බවයි.

විපතට පත් වූ නිශ්චිත සංඛ්‍යාව තවමත් නොදන්නා නමුත් එය අවම වශයෙන් සිය ගණනක් වනු ඇති බවයි ගලවා ගැනීමේ කණ්ඩායම් ප්‍රකාශ කර ඇත්තේ.

මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පළමුව ඇති වූ භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපංක ඒකක 7යි දශම 7ක ප්‍රබලත්වයක් ගෙන තිබුණා.

ඉන් අනතුරුව එික්ටර් මාපකයේ 6යි දශම 4ක ප්‍රබලත්වයෙන් යුත් තවත් පසු කම්පනයක්ද සිදුව තිබෙනවා.

එම භූ කම්පනයත් සමග පල්ලියක් කඩා වැටීම හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

භූ කම්පනය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව සහ තුවාලකරුවන් තවදුරටත් ඉහළ යා හැකි බව එරට පාලක හමුදාව ප්‍රකාශ කර තිබෙනවා. 

මියන්මාරයට බලපෑ එම භූකම්පන තායිලන්තයේ බැංකොක් නුවරටද බලපා තිබුණා.

ඒ හේතුවෙන් බැංකොක් අගනුවර ගොඩනැගිලි රැසකටද හානි සිදුව තිබෙනවා. මේ හේතුවෙන් බැංකොක් නුවරටද හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණා. 

බැංකොක් අගනුවර ඉදිකරමින් පැවති මහල් 30ක ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් තිදෙනෙකු මියගොස් ඇති අතර තවත් 68 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

එම ගොඩනැගිල්ලේ ඉදිකෙරෙමින් සිටි කම්කරුවන් 81 දෙනෙකු තවමත් ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටින බවයි තායිලන්ත බලධාරීන් පවසන්නේ. 

තායිලන්ත අග්‍රාමාත්‍යවරයාද එරට අගනුවර කඩාවැටුනු ගොඩනැගිල්ල නිරීක්‍ෂණයට එම ස්ථානයට පැමිණ තිබෙනවා.

මේ අතර බැංකොක් අගනුවර ඇතිවූ මෙම සිද්ධියට මුහුණ දුන් ශ්‍රී ලාංකිකයෙකු තමන් මුහුණ දුන් අත්දැකීම නෙත් නිවුස් වෙත මෙලෙස විස්තර කළා.