Monday, March 31, 2025

General line - 0115112241

 මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයින් 144 දෙනෙකු ජීවිතක්‍ෂයට



මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් පුද්ගලයින් 144 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි මියන්මාර හමුදා නායක මින් අවුන් හලයින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසනවා.

නෙයි පියේ ටෝ ප්‍රදේශයේ පුද්ගලයින් 96 දෙනෙකු, සයිගයිං ප්‍රදේශයේ පුද්ගලයින් 18 දෙනෙකු සහ මැන්ඩලේ ප්‍රදේශයේ පුද්ගලයින් 30 දෙනෙකු  එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම භූ කම්පනයෙන් පුද්ගලයින් 732කු තුවාල ලබා ඇතැයිද සඳහන්.

සයිගයිංහි පුද්ගලයින් 300ක් හා නෙයි පියේ ටෝහි පුද්ගලයින් 132ක් තුවාල ලැබූ පිරිසට අයත්.

කෙසේවෙතත් භූ කම්පනයෙන් ජීවිතක්‍ෂයට පත්වූ සහ තුවාල ලැබූ පිරිස තවත් ඉහළ යා හැකි බවද විදෙස් මාධ්‍ය පැවසුවා.  

මියන්මාරයේ ඊයේ ඇතිවූ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් එරට කලාප 06ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණා.

ගලවා ගැනීමේ කණ්ඩායම් පවසන්නේ සිදුව ඇති හානිය අති විශාල බවයි.

මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පළමුව ඇති වූ භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපංක ඒකක 7යි දශම 7ක ප්‍රබලත්වයක් ගෙන තිබුණා.

ඉන් අනතුරුව රික්ටර් මාපකයේ 6යි දශම 4ක ප්‍රබලත්වයෙන් යුත් තවත් පසු කම්පනයක්ද සිදුව තිබෙනවා. 

එම භූ කම්පනයත් සමග පල්ලියක් කඩා වැටීම හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පළමුව වාර්තා කළේ.

මියන්මාරයට බලපෑ එම භූකම්පන තායිලන්තයේ බැංකොක් නුවරටද බලපා තිබුණා.

ඒ හේතුවෙන් බැංකොක් අගනුවර ගොඩනැගිලි රැසකටද හානි සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් බැංකොක් නුවරටද හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණා.

බැංකොක් අගනුවර ඉදිකරමින් පැවති මහල් 30ක ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් තිදෙනෙකු මියගොස් ඇති අතර තවත් 68 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

එම ගොඩනැගිල්ලේ ඉදිකෙරෙමින් සිටි කම්කරුවන් 81 දෙනෙකු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටි බවයි තායිලන්ත බලධාරීන් පැවසුවේ.

මේ අතර මියන්මාරයේ ඇති වූ භූ කම්පනයෙන් පසු මියන්මාරයේ සහ තායිලන්තයේ බැංකොක් නුවර සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධ කිසිදු අහිතකර සිදුවීමක් වාර්තා වී නොමැති බවයි විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ.

කෙසේවෙතත් එම රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් තවදුරටත් විමසිල්ලෙන් සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවා.