මහජන සහභාගිත්වය තුළින් වන අලි සංරක්‍ෂණ ක්‍රියාවලිය සිදු කිරීම මෙන්ම අලි මිනිස් ගැටුම බහුල වශයෙන් සිදුවී ඇති ග්‍රාම නිලධාරී කොට්ඨාස දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යංශය කටයුතු ආරම්භ කර තිබෙනවා.
මෙම වසරේදී ගම්මාන 23ක ඊට අදාළ වැඩසටහන් 43ක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.
ගම්මාන මට්ටමින් විදුලි වැට ඉදිකිරීම් සහ මුරපොළ ස්ථාපිත කිරීම මගින් සිවිල් ආරක්‍ෂක භටයන්ගේ දායකත්වයෙන් ගම්මානවලට අලි පැමිණීම වැළැක්වීමේ ක්‍රියාමාර්ගද කඩිනම් පියවර ලෙස හඳුනාගෙන ඇති බව පරිසර අමාත්‍යංශය පවසනවා.
ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා.
මේ අතර අලින්ගෙන් වන හානි අවම කිරීම සඳහා ගම්මාන ආශ්‍රිතව ඉදි කර ඇති අලිවැටවල කොටස් සොරකම් කිරීම ඇතැමුන් විසින් සිදු කරන බවයි වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
එහි රක්‍ෂිත ප්‍රදේශ කළමනාකරණ අධ්‍යක්‍ෂ මංජුල අමරරත්න මහතා පැවසුවේ පසුගිය වසර කිහිපය තුළ රුපියල් මිලියන 90ක් පමණ වටිනා අලිවැටවල්වල විවිධ කොටස් සොරුන් විසින් ගලවාගෙන ගොස් ඇති බවයි.