මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් පුද්ගලයින් 1,644 දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් 3,400කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.
දැඩි බලපෑමට ලක් වූ ප්‍රදේශවල සෝදිසි කිරීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් මේ වන විටත් සිදු කෙරෙමින් පවතිනවා.
කෙසේවෙතත් යන්ත්‍රෝපකරණ හිඟය, අස්ථාවර සන්නිවේදන ජාල සහ විනාශ වූ මාර්ග සහ පාලම් හේතුවෙන් දිවි ගලවා ගත් පුද්ගලයින් සෙවීමේ කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
භූ කම්පනයෙන් පසු මියන්මාරයේ ගොඩනැගිලි 2,900ක් මාර්ග 30ක් සහ පාලම් 07ක් විනාශ වී ඇති බවත් විදුලිය ඇනහිටීම් තත්ත්වය තවත් උග්‍ර කර තිබෙනවා.
එරට බලධාරීන් පවසන්නේ විදුලිය ඇනහිටීම යථා තත්ත්වයට පත් කිරීමට දින කිහිපයක් ගතවනු ඇති බවයි.
මැන්ඩලේහි මහල් 12කින් යුත් මහල් නිවාස සංකීර්ණයක් කඩා වැටී පැය 30කට පමණ පසු එහි සුන්බුන් අතර සිරවී සිටි කාන්තාවකගේ දිවි ගලවා ගැනීමට සහන කණ්ඩායම් සමත් වී තිබෙනවා.
පෙර පාසලක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පෙර පාසල් ළමුන් 12 දෙනෙකුගේ සහ ගුරුවරයෙකුගේ මළ සිරුරු ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් සොයා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඉකුත් දා මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් රික්ටර් මාපකයේ 7. 7ක ප්‍රබල භූ කම්පනයක් ඇති වූ අතර එහි ප්‍රබලත්වය තායිලන්තයේ බැංකොක් නුවරට, ඉන්දියාවට, චීනයට කාම්බෝජය සහ ලාඕසය යන ප්‍රදේශවල දැනී තිබුණා.
මෙම භූ කම්පන තත්ත්වයෙන් පසු ඊයේ උදෑසන කාලය දක්වා මියන්මාරයට පසු කම්පන තත්ත්ව 14කින් ද බලපෑම් එල්ල වුණා.
මේ වන විට අදාළ භූ කම්පනයෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශ තුළ මිලියන 18කට වැඩි ජනතාවක් ජීවත් වන බවත් භූ කම්පන තත්ත්වයෙන් මිලියනයකට අධික පිරිසක් ආපදාවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් විදෙස් රටවල්වලින් මියන්මාරයට ලබා දුන් මානුෂීය ආධාර රැගත් කණ්ඩායම් රට තුළට ඇතුළු වීම ආරම්භ කර ඇතත්, දැඩි ලෙස හානියට පත් ප්‍රදේශවලට ලඟා වීමට දුෂ්කර වී ඇති බවයි වාර්තා වෙන්නේ.
තවද චීන රජයද කුඩාරම්, බ්ලැන්කට් සහ හදිසි වෛද්‍ය කට්ටල ඇතුළුව අමෙරිකානු ඩොලර් මිලියන 13ක පමණ ආධාර ලබා දෙන බවද චීන ජනාධිපතිවරයා පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.