දිවයිනේ ප්‍රදේශ තුනකදී නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමග සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සහ කොටදෙනියාව පොලීසියට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීම්වලදීයි.
ජා ඇල ඔත්කැලේ වගුරුබිම් ප්‍රදේශයේදී කළ එම එක් වැටලීමකදී මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා ලීටර් 40,500ක් අඩංගු බැරල් 200ක්, නීති විරෝධී මත්පැන් ලීටර් 843ක් සොයා ගෙන තිබෙනවා.
හල්ලක්කඩ වගුරුබිම් ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී තවත් ගෝඩා බැරල් 29ක්, මත්පැන් ලීටර් 225ක් සමග තවත් භාණ්ඩ කිහිපයක් සිය භාරයට ගත් බවයි බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පැවසුවේ.
කිතුල්වල ප්‍රදේශයේදී කොටදෙනියාව පොලීසිය මගින් සිදු කළ අනෙක් වැටලීමේදී ගෝඩා බැරල් 10ක් සහ මත්පැන් ලීටර් 101ක් සොයාගෙන තිබෙනවා.
මෙම වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 21, 30, 32 සහ 50 යන වයස්වල පසුවන ඒකල, දොළොස්බාගේ සහ කිතුල්වල යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
ඔවුන් සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර, මාතලේ පොලිස් වසමේ, සුදු ගඟ රක්ෂිතයේ ගමන් මල්ලක දමා සඟවා තිබූ ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ පතොරම් ගැබ් 02ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
ඒ, මාතලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත එම ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදීයි.
මෙම ගිනි අවිය එම ස්ථානයේ සැඟ වූ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට මාතලේ පොලීසිය මගින් විමර්ශන සිදු කරනු ලබනවා.