අධිකරණයට අපහාස කළේ යැයි පුත්තලම මහාධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද නීතීඥ එස්.ඒ.පී. උදයංගනී මහත්මිය වහා මුදාහරින ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා.
ඒ, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ රජීව් අමරසූරිය මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
මෙලෙස මුදාහරින ලෙස නියම කළ නීතිඥවරියට අප්‍රේල් මස 28 වනදා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගයේ සඳහන් වුණා.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ උපදේශක නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම් මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස්, ෆයිසර් මුස්තාෆා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළා.
ඉකුත් 28 වනදා ඇප අයදුම්පතක් සම්බන්ධයෙන් පුත්තලම මහාධිකරණය හමුවේ පෙනී සිටි එස්.ඒ.පී. උදයංගනී නමැති නීතිඥවරිය අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව විනිසුරුවරිය විසින් ඇය ඇපමත මුදාහළ බවට දැනගන්නට ඇතැයි පෙත්සම්කරු සඳහන් කළා.
එහෙත් එදින ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් අදාළ නීතිඥවරිය රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා විභාග කිරීමේ විධිමත් ක්‍රියා පටිපාටියක් පවතින බව පෙන්වා දුන් පෙත්සම්කරු අදාළ නීතිඥවරියට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමේදි මහාධිකරණ විනිසුරුවරිය විසින් එම ක්‍රියා පටිපාටිය අනුගමනය කර නොමැති බව පෙනි ගොස් තිබෙන බවත් සඳහන් කර සිටියා.
ඒ අනුව මෙම පෙත්සම විභාග කිරීමට අවසර දෙන ලෙසත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අදාළ නීතිඥවරිය නිදහස් කරන ලෙස වාරියපොළ බන්ධනාගාර අධිකාරිවරයා වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම නියෝග නිකුත් කළා.
මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ උපදේශක නීතීඥ ජී.ජී. අරුල් ප්‍රගාසම් මහතාගේ උපදෙස් මත නිරංජන් අරූල් ප්‍රගාසම්, සේනානි දයාරත්න, ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පිරිස්, ෆයිසර් මුස්තාපා සමග ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තෆා මහතා පෙනී සිටියා.