Thursday, April 3, 2025

General line - 0115112241

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව රිට් පෙත්සම් සලකා බැලීම ලබන 03 වනදා



පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම් වැඩිදුර සලකා බැලීම සඳහා ලබන 03 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා.

මෙම කරුණුවලට අදාළව ගොනුකර තිබෙන රිට් පෙත්සම් 37ක් අද එස්. තුරෙයි රාජා, මහින්ද සමයවර්ධන සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුනා.

මෙම පෙත්සම් සලකා බැලීම සඳහා කැඳ වූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් කණිෂ්කා ද සිල්වා  මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මේ වන විට අධිකරණය හමුවේ අභියෝගයට ලක් කර තිබෙන නාම යෝජනා පත්‍ර තුනක්  ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති පෙත්සම් තුනකට අදාළව සමථයක් ඇති කර ගත හැකි බවයි.

නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඉකුත් සති අන්තයේ මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ නීතිපතිවරයා  මෙන්ම පෙත්සම්කරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැත් වූ බවත් පිළිගත හැකි මට්ටමේ සුදුසුකම් සපුරා තිබෙන නාම යෝජනා පත්‍ර තුනක් පිළිගැනීමට තීරණය කර තිබෙන බවත්  නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය දැනුම් දුන්නා.

ඒ අනුව එම පෙත්සම් තුන ඉවත් කර ගැනීමට පෙත්සම්කාර පාර්ශව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ සහ නීතිඥ ඉල්හාම් කාරියප්පන් යන මහත්වරු අධිකරණය හමුවේ එකඟතාවය පළ කළා.
ඉන් අනතුරුව වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය දැනුම් දුන්නේ සෙසු පෙත්සම් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත්  කරන බවයි.

පළාත් පාලන පනතේ විධිවිධානයන්ට අනුකූලව පළාත් පාලන ඡන්ද විමසීමකට අදාල නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීමක් හෝ තේරීම් භාර නිලධාරියවරයා විසින් ඉටු කරනු ලබන කටයුත්තක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රිට් පෙත්සම් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බවත් ඇය සඳහන් කළා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළේ එවැනි රිට් පෙත්සම් අභියෝගයට ලක් කළ හැක්කේ අභියාචනාධිකරණය හමුවේ බවත් මෙම පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවයි. ඒ අනුව මෙම රිට් පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළා.

එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර් සහ දර්ශන වේරදූවගේ සහ ඉල්හාම් කාරියප්පර් යන මහත්වරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ තේරීම්භාර නිලධාරීවරයා කටයුතු කරන්නේ මැතිවරණ කොමිසමේ නියෝග සහ විධිවිධානයන් අනුව බවයි.

ඒ අනුව තේරීම්භාර නිලධාරීවරයා විසින් ඉටු කරන කාර්යයක් මැතිවරණ කොමිසමේ කටයුත්තක් සේ සලකා රිට් පෙත්සම් මගින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට පෙත්සම්කරුවන්ට හැකියාව තිබෙන බවත් පෙන්වා දුන්නා.